5. 1. 2. 6.
[බලඅග්ග සූත්‍රය]
16. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක.
කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධාබලය, වීර්‍ය්‍යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබල යි.
මහණෙනි, මේ පඤ්චබලයෝ වෙත්. මහණෙනි, මේ පස්බල අතුරින් තෙල අග්‍ර වෙයි, තෙල සාඞ්ග්‍රාහික වෙයි, තෙල මුළුලු කරන්නේ වෙයි. හෙ කිමෙක යත්: ප්‍රඥාබල යි.
මහණෙනි, යම්සේ කූටාගාරයාගේ තෙල අග්‍රය වේ ද, තෙල සාඞ්ග්‍රාහික වේ ද, තෙල සඞ්ඝාතනිය වේ ද, එනම් කූටය යි.
මහණෙනි, එපරිදි ම මේ පඤ්චබලයන් අතුරින් තෙල අග්‍රය වෙයි, තෙල සාඞ්ග්‍රාහිකය වෙයි, තෙල සඞ්ඝාතනිය වෙයි. එනම්, ප්‍රඥාබල යි.
5. 1. 2. 7.
[අත්තහිත සූත්‍රය]
17. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේ වෙයි, පරහිතපිණිස පිළිපන්නේ නො වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ සිල්සපන් වෙයි, මෙරමා සීලසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ සමාධිසම්පන්න වෙයි. මෙරමා සමාධිසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න වෙයි, මෙරමා ප්‍රඥාසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්ති සම්පන්න වෙයි, මෙරමා විමුක්ති සම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්තිඥානදර්‍ශනසම්පන්න (ප්‍රත්‍යවේක්‍ෂණඥානසම්පන්න) වෙයි, මෙරමා විමුක්තිඥානදර්‍ශනසම්පදායෙහි සමාදන් නො කරවයි.
මහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා හිත පිණිස පිළිපන්නේ නො වෙයි.
5. 1. 2. 8.
[පරහිත සූත්‍රය]
18. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ මෙරමා හිත පිණිස පිළිපන්නේ වෙයි, ආත්මහිත පිණිස පිළිපන්නේ නො වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ සීලසම්පන්න නො වෙයි. මෙරමා සීලසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේ සමාධිසම්පන්න නොවෙයි, මෙරමා සමාධිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න නො වෙයි, මෙරමා ප්‍රඥාසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේ විමුක්ති සම්පන්න නො වෙයි, මෙරමා විමුක්තිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේ විමුක්තිඥානදර්‍ශනසම්පන්න නො වෙයි, මෙරමා විමුක්තිඥානදර්‍ශනසම්පදායෙහි සමාදන් කරවයි.
මහණෙනි, මෙ පස්දහමින් සමන්‍වාගත (දුශ්ශීල බහුශ්‍රුත) මහණ මෙරමා හිත පිණිස පිළිපන්නේ වෙයි. ආත්මහිත පිණිස පිළිපන්නේ නො වෙයි.
5. 1. 2. 9.
[නේව අත්තහිත - නො පරහිත සූත්‍රය]
19. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් නො වෙයි, මෙරමා හිත පිණිස පිළිපන්නේත් නො වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ සීලසම්පන්න නො වෙයි, මෙරමා සීලසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ සමාධිසම්පන්න නො වෙයි. මෙරමා සමාධිසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න නො වෙයි, මෙරමා ප්‍රඥාසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්ති සම්පන්න නො වෙයි, මෙරමා විමුක්තිසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්තිඥානදර්‍ශනසම්පන්න නො වෙයි. මෙරමා විමුක්තිඥානදර්‍ශනසම්පදායෙහි සමාදන් නො කරවයි.
මහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත (අල්පශ්‍රැත දුශ්ශීල) මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් නො වෙයි. පරහිත පිණිස පිළිපන්නේත් නො වෙයි.