5. 1. 1. 3.
[දුක්ඛ සූත්‍රය]
3. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත (දුක්) සහිත උපායාස (දැඩි දුකින් උපන් ප්‍රතිඝ) සහිත පරිඩාහ සහිත දුඃඛවිහරණ කෙරෙයි. කාබුන් මරණින් මතුදු දුර්‍ගති කැමැති විය යුතු. කවර පඤ්චධර්‍මයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා නැති වෙයි. හ්‍රී නැති වෙයි. අපත්‍රපා නැති වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත සහිත උපායාස සහිත පරිඩාහ සහිත දුඃඛවිහරණ කරයි. කාබුන් මරණින් මතුදු දුර්‍ගති කැමැති විය යුතු යි.
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත නැති උපායාස රහිත පරිදාහ රහිත සුඛවිහරණ කෙරෙයි. කාබුන් මරණින් මතුදු සුගති කැමැති විය යුතු. කවර පඤ්චධර්‍මයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඇරඹූ වැර ඇති වෙයි. ප්‍රඥා ඇති වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ විඝාත රහිත උපායාස රහිත පරිදාහ රහිත පරිදාහ රහිත සුඛවිහරණ කෙරෙයි. කාබුන් මරණින් මතුදු සුගති කැමැති විය යුතු යි.
5. 1. 1. 4.
[යථාභත සූත්‍රය]
4. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම් එසේ නිරයෙහි තැබුනේ වේ. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශ්‍රද්ධ වෙයි, හිරි නැති වෙයි. ඔතප් නැති වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම්, එසේ නිරයෙහි තැබුනේ වේ.
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි තැබුනේ වේ. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඇරඹූ වැර ඇති වෙයි. පැණැති වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ගෙණවුත් බහාතබන ලද්දේ යම් සේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි තැබුනේ වේ ය යි.
5. 1. 1. 5.
[සික්ඛාපච්චක්ඛාන සූත්‍රය]
5. මහණෙනි, යම් මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හුනු බවට (ගිහිබවට) වැටේ නම්, ඔහට දිටුදැහැමියෙහි ම ගැරහිය යුතු කරුණු වූ සහේතුක වාදප්‍රවෘත්ති (මෙරමා නගන කතා) පසෙක් එළඹේ. කවර පසෙක යත්:
“තට කුසල්දහම්හි සැදැහැ ද නො වී. තට කුසල්දහම්හි හිරි ද නො වී. තට කුසල්දහම්හි ඔතප් ද නො වී. තට කුසල්දහම්හි වැර ද නො වී. තට කුසල්දහම්හි පැණ ද නො වී” ය යි.
මහණෙනි, යම් කිසි මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හුනු බවට වැටේ නම් ඔහුට දිටුදැමියෙහි ම ගැරහිය යුතු කරුණු වූ මේ පඤ්චසහධාර්මිකවාද ප්‍රවෘත්තිහු එළඹෙත්.
මහණෙනි, කිසියම් මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, දුක් සහිතව ද දොම්නස් සහිතව ද කඳුළුවැකි මුහුණු ඇතියේ ද වලප්නේ ද පිරිපුන් පිරිසිදු බඹසර සෙරේ නම්, ඔහට දිටුදැහැමියෙහි ම පඤ්චසහධාර්මික ප්‍රසංසාස්ථාන කෙනෙක් එත්. කවර පස්දෙනෙක යත්: