5. 1. 1. 4.
[යථාභත සූත්රය]
4. මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම් එසේ නිරයෙහි තැබුනේ වේ. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශ්රද්ධ වෙයි, හිරි නැති වෙයි. ඔතප් නැති වෙයි. කුසීත වෙයි. දුෂ්ප්රාඥ වෙයි. මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම්, එසේ නිරයෙහි තැබුනේ වේ.
මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම් එසේ ස්වර්ගයෙහි තැබුනේ වේ. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඇරඹූ වැර ඇති වෙයි. පැණැති වෙයි. මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත මහණ ගෙණවුත් බහාතබන ලද්දේ යම් සේ වේ නම් එසේ ස්වර්ගයෙහි තැබුනේ වේ ය යි.
5. 1. 1. 5.
[සික්ඛාපච්චක්ඛාන සූත්රය]
5. මහණෙනි, යම් මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, ශික්ෂාප්රත්යාඛ්යාන කොට හුනු බවට (ගිහිබවට) වැටේ නම්, ඔහට දිටුදැහැමියෙහි ම ගැරහිය යුතු කරුණු වූ සහේතුක වාදප්රවෘත්ති (මෙරමා නගන කතා) පසෙක් එළඹේ. කවර පසෙක යත්:
“තට කුසල්දහම්හි සැදැහැ ද නො වී. තට කුසල්දහම්හි හිරි ද නො වී. තට කුසල්දහම්හි ඔතප් ද නො වී. තට කුසල්දහම්හි වැර ද නො වී. තට කුසල්දහම්හි පැණ ද නො වී” ය යි.
මහණෙනි, යම් කිසි මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, ශික්ෂාප්රත්යාඛ්යාන කොට හුනු බවට වැටේ නම් ඔහුට දිටුදැමියෙහි ම ගැරහිය යුතු කරුණු වූ මේ පඤ්චසහධාර්මිකවාද ප්රවෘත්තිහු එළඹෙත්.
මහණෙනි, කිසියම් මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, දුක් සහිතව ද දොම්නස් සහිතව ද කඳුළුවැකි මුහුණු ඇතියේ ද වලප්නේ ද පිරිපුන් පිරිසිදු බඹසර සෙරේ නම්, ඔහට දිටුදැහැමියෙහි ම පඤ්චසහධාර්මික ප්රසංසාස්ථාන කෙනෙක් එත්. කවර පස්දෙනෙක යත්:
“තට කුශලධර්මයෙහි ශ්රද්ධා නමුදු වී. තට කුශලධර්මයෙහි හිරි නමුදු වී. තට කුශලධර්මයෙහි ඔතප් නමුදු වී. තට කුශලධර්මයෙහි වීර්ය්ය නමුදු වී. තට කුශලධර්මයෙහි ප්රඥා නමුදු වී” ය යි.
මහණෙනි, කිසියම් මහණෙක් වේ වයි, මෙහෙණක් වේ ව යි, දුක් සහිතව ද දොම්නස් සහිතව ද කඳුළුවැකි මුහුණු ඇතියේ ද වලප්නේ ද පිරිපුන් පිරිසිදු බඹසර සෙරේ නම් ඔහට වත්මනු බෙවෙහි ම පැසසිය යුතු කරුණු වූ මේ පඤ්චසහධාර්මිකයෝ පැමිණෙති.
5. 1. 1. 6.
[අකුසලසමාපත්ති සූත්රය]
6. මහණෙනි, කුශලධර්මයෙහි යම් තාක් ශ්රද්ධා එළඹ සිටියා වේ ද, ඒ තාක් අකුශලයාගේ සමාපත්තියෙක් (වැදගැන්මෙක්) නො වේ. මහණෙනි, යම් හෙයෙකින් ශ්රද්ධා අතුරුදන් වේ ද, අශ්රද්ධාභාවය මතුව නැඟගෙණ සිටුනේ වේ ද, එකල්හි අකුශලයාගේ සමාපත්තිය වෙයි.
මහණෙනි, යම් තාක් කුශලධර්මයෙහි හිරි එළඹ සිටියා වේ ද, ඒ තාක් අකුශලසමාපත්තියෙක් නො වේ. මහණෙනි, යම් හෙයෙකින් හිරි අතුරුදන් වේ ද, අහිරික භාවය නැඟගෙණ සිටුනේ වේ ද, එකල්හි අකුශලසමාපත්තිය වෙයි.
මහණෙනි, යම් තාක් කුශලධර්මයෙහි ඔතප් එළඹ සිටියේ වේ ද, ඒ තාක් අකුශලසමාපත්තිය නො වේ, මහණෙනි, යම් හෙයෙකින් ඔතප් අතුරුදන් වේ ද, අපත්රපා නැඟගෙණ සිටුනී වේ ද, එකල්හි අකුශලසමාපත්තිය වෙයි.
මහණෙනි, යම් තාක් කුශලධර්මයෙහි වීර්ය්ය එළඹ සිටියේ වේ ද, ඒ තාක් අකුශලසමාපත්තිය නො වේ. මහණෙනි, යම් හෙයෙකින් වීර්ය්ය අතුරුදන් වේ ද, කුසීතභාවය නැඟගෙණ සිටුනේ ද, එකල්හි අකුශල සමාපත්තිය වේ.
මහණෙනි, යම් තාක් කුශලධර්මයෙහි ප්රඥා එළඹ සිටියා වේ ද, ඒ තාක් අකුශලසමාපත්තිය නො වේ. මහණෙනි, යම් හෙයෙකින් ප්රඥා අතුරුදන් වේ ද, දුෂ්ප්රඥා නැඟගෙණ සිටුනී ද, එකල්හි අකුශල සමාපත්තිය වේ ය යි.
5. 1. 1. 7.
[කාමෙසුපලාළිත සූත්රය]
7. මහණෙනි, බෙහෙවින් ම සත්ත්වයෝ වස්තුකාමක්ලේශකාමයෙහි ප්රකර්ෂයෙන් ඇලුනාහ. මහණෙනි, කුලපුත් (තණකපන) දෑකැත්ත හා තණ කද තබාපියා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, ‘සැදැහැයෙන් සසුන් වන් කුලපුත්හ’යි කියන්නට නිසි වෙයි. එ කවර හෙයින යත්:
මහණෙනි, යොවුනෙන් කාමයෝ ලැබිය හෙති. ඔහුදු යම් යම් බඳු වෙති. මහණෙනි, යම් බඳු (පඤ්චහීනකුලයන්ගේ) හීනකාමයෝ වෙත් ද, යම් බඳු (මධ්යමසත්ත්වයන්ගේ) මධ්යමකාමයෝ වෙත් ද, යම් බඳු (රාජාදීන්ගේ) ප්රණීත කාමයෝ වෙත් ද, එ හැම කාමයෝ (කාමන විසින්) ‘කාමය හ’ යි ම සඞ්ඛ්යාවට යෙත්.