4. 6. 7.
[දෙවැනි ආජානීය සූත්‍රය]
7. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ රජසතු භද්‍ර අශ්වාජානීය රාජාර්‍හ වෙයි. රජු විසින් වළඳ කටයුතු වෙයි. රජුගේ අවයවයෙකැයි ගණනට යේ. කවර සතර කරුණින් යත්:
මහණෙනි, මෙ ලොව රජසතු භද්‍ර අශ්‍වාජානීය වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් යුත් රාජකීය භද්‍ර අශ්වාජානීය තෙමේ රාජාර්‍හ ද වෙයි. රාජභෝග්‍ය ද වෙයි. රජුගේ අවයවයෙකැ යි ගණනට යෙයි.
මහණෙනි, එ පරිදි ම සතර කරුණෙකින් යුක්ත වූ මහණ ආහුන්‍යෙය වෙයි. පාහුණ්‍යෙය වෙයි. දක්‍ඛිණ්‍යෙය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සතර කරුණින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ වර්‍ණසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල් ඇත්තේ වේ ද ... සිකපදයන් සමාදන් ව ගෙණ හික්මේ ද, මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ බලසම්පන්න වේ ද? මහණෙනි, මේ සස්නෙහි මහණ රුකළ වැර ඇත්තේ බලවත් වූයේ දෘඪපරාක්‍රම ඇත්තේ කුසල්දහම්හි බහා නොතැබූ ධුර ඇත්තේ වෙසෙයි. මහණෙනි, මහණ මෙසේ බලසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ජවසම්පන්න වේ ද? මහණෙනි, මේ සස්නෙහි මහණ ආස්‍රවක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙයි. මහණෙනි, මහණ මෙසේ ජවසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ආරෝහපරිණාහසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ආරෝහපරිණාහසම්පන්න වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි. පාහුණෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
4. 6. 8.
[බල සූත්‍රය]
8. මහණෙනි, මේ සතර බලකෙනෙකි. කවර සතර දෙනෙක යත්:
වීර්‍ය්‍යබල ය, ස්‍මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල යි. මහණෙනි, මේ බල සතර යි.
4. 6. 9.
[අරඤ්ඤසේනාසන සූත්‍රය]
9. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත මහණ අරණ සෙනසුන ද, මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද, අරණෙහි ඉතා දුරසෙනසුන් ද, සෙවීමට නොනිසි වෙයි. කවර සතරෙකින් යත්: