4. 6. 8.
[බල සූත්රය]
8. මහණෙනි, මේ සතර බලකෙනෙකි. කවර සතර දෙනෙක යත්:
වීර්ය්යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, ප්රඥාබල යි. මහණෙනි, මේ බල සතර යි.
4. 6. 9.
[අරඤ්ඤසේනාසන සූත්රය]
9. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත මහණ අරණ සෙනසුන ද, මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද, අරණෙහි ඉතා දුරසෙනසුන් ද, සෙවීමට නොනිසි වෙයි. කවර සතරෙකින් යත්:
කාමවිතර්කයෙන් යුක්ත වූයේ වේ. ව්යාපාදවිතර්කයෙන් යුක්ත වූයේ වේ. විහිංසාවිතර්කයෙන් යුක්ත වූයේ වේ. ජඩ වූයේ වහතොලු වූයේ දුෂ්ප්රාඥ ද වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූ මහණ අරණසෙනසුන ද මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද අරණෙහි ඉතා දුරසෙනසුන් ද සෙවීමට නො නිසි වෙයි.
මහණෙනි, කරුණු සතරෙකින් සමන්වාගත මහණ අරණසෙනසුන ද මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද අරණෙහි ඉතා දුර සෙනසුන් ද සෙවීමට නිසි වෙයි. කවර සතර කරුණෙන යත්:
නෛෂ්ක්රම්යවිතර්කයෙන් යුක්ත වූයේ වේ. අව්යාපාදවිතර්කයෙන් යුක්ත වූයේ වේ. අවිහිංසාවිතර්කයෙන් යුක්ත වූයේ වේ. ජඩ නොවූයේ වහතොලු නොවූයේ පැණැතියේ ද වේ.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත මහණ අරණසෙනසුන් ද මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද අරණෙහි ඉතා දුරසෙනසුන් ද සෙවීමට නිසි වෙයි.
4. 6. 10.
[සාවජ්ජ - අනවජ්ජ සූත්රය]
10. මහණෙනි, මේ සතර කරුණෙකින් සමන්වාගත වූ බාල වූ අව්යක්ත වූ අසත්පුරුෂ ගුණ විසින් සාළ ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කටයුතු වූයේ බොහෝ පව් ද රැස් කෙරෙයි. කවර සතරෙකින් යත්:
සාවද්ය වූ කායකර්මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්ය වූ වාක්කර්මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්ය වූ මනඃකර්මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්ය වූ දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූ බාල අව්යක්ත අසත්පුරුෂ ගුණ විසින් සාරා දැමූ ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කටයුතු වූයේ බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූ පණ්ඩිත ව්යක්ත සත්පුරුෂ ගුණ විසින් සාරා නොදැමූ ගුණ විසින් නොනට ආත්මයක් පරිහරණය කෙරෙයි. නිරවද්ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නොකටයුත්තේ බොහෝ පින් ද රැස් කෙරෙයි. කවර සතර කරුණෙකින් යත්:
අනවද්ය වූ කායකර්මයෙන් යුක්ත වූයේ වේ. අනවද්ය වූ වාක්කර්මයෙන් යුක්ත වූයේ වේ. අනවද්ය වූ මනඃකර්මයෙන් යුක්ත වූයේ වෙයි. අනවද්ය වූ දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූ පණ්ඩිත වූ ව්යක්ත වූ සත්පුරුෂ ගුණ විසින් සාරා නො දැමූ ගුණ විසින් නොනටුවා වූ ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේ බොහෝ කුසල් ද රැස් කෙරෙයි.
අභිඥාවර්ගය සවැනි යි.