4. 6. 4.
[මාලුඞ්ක්‍යපුත්ත සූත්‍රය]
4. එකල්හි ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙරහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙරහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ඒකාකී වූයෙම් ගණසඞ්ගණිකායේන් වෙන් වූයෙම් අප්‍රමත්ත වූයෙම් කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තෙම් ජීවිතනිරපේක්‍ෂක වූයෙම් වෙසෙම් ද, වහන්ස, ආයාචනා කරමි. භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් එබඳු දහමක් දෙසන සේක්වා යනුයි.
මාලුඞ්ක්‍යපුත්‍රය, යම් හෙයෙකින් තෝ දිරූයෙහි වයෝවෘද්ධ වූයෙහි මහලු වූයෙහි සැකෙවින් තථාගතයන්ගේ අවවාදය යදනෙහි ද, තෙල අවවාද දානයෙහි ලා දැන් තරුණ යෝගාවචරයනට කුමක් කියමෝ ද,
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්සේ සැකෙවින් දහම් දෙසන සේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ තෙපුලෙහි අරුත් දැනගණිම් නම් මැනව, මම භාග්‍යවතුන් වහන්සේගේ තෙපුලට දායාද වන්නෙම් නම් මැනව.
මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට යම් අරමුණෙක උපදනා තෘෂ්ණාව උපදිනී වේ ද, මේ තෘෂ්ණෝත්‍පාදයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට, චීවරහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට පිණ්ඩපාතහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට සයනාසනහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට ඉති භවාභවහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී.
මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට යම් අරමුණෙක උපදනා තෘෂ්ණාව උපදිනී වේ ද, මේ සතර ඒ තෘෂ්ණෝත්පාදයෝ යි.
මාලුඞ්ක්‍යපුත්‍රයා, යම් කලෙක මහණහට තෘෂ්ණාව ප්‍රහීණ වේ ද, මුලුසුන් වේ ද, මස්තකච්ඡින්න තාලයක් සෙයින් අවස්තුක බවට පමුණුවන ලද ද, පුන පුනා කළ අභාවය ඇද්ද, මතුයෙහි අනුත්පාද ස්වභාවය ඇද්ද, මාලුඞ්ක්‍යපුත්‍රය, මේ මහණ තෘෂ්ණා සිඳපී ය යි සංයෝජන පෙරළාලී ය යි මොනොවට මානයාගේ ප්‍රහාණාභිසමයයෙන් දුක් කෙළවර කෙළේ ය යි කියනු ලැබේ.
එක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙරහු භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලද්දාහු හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ. එක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙර ඒකාකී වූයේ ගණසඞ්ගණිකායේන් වෙන් වූයේ අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇත්තේ නිවනට ගිය සිත් ඇතියේ වෙසෙමින් මඳ කලෙකින් යම් අර්‍හත්ත්‍වයක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද් ද, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය කෙළවර කොට ඇති ඒ අර්‍හත්ත්‍වය වර්‍තමාන භවයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ විසී. ජාතිය ක්‍ෂීණ විය. බඹසර වැස නිමවින. සතර මග කිස කරණ ලදි. මේ අර්‍හත්ත්‍වය පිණිස අන් දැයෙක් නැති යි දත්හ.
ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙරහු රහතුන් කෙරෙහි එක්තරා කෙනෙක් ද වූහු.
4. 6. 5.
[කුල සූත්‍රය]
5. මහණෙනි, භෝගයෙහි මහත්ත්‍වයට පැමිණ යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ සතර කරුණෙකින් හෝ සතර කරුණු අතුරෙන් අන්‍යතරයෙකින් හෝ චිරස්‍ථායී නො වෙත්. කවර සතර කරුණෙන යත්:
නට දැය නො සොයත්. දිරූ දැය පිළිසකර නො කෙරෙත්. පරිමාණ රහිත පානභෝජන වළඳනාහු වෙත්. සිල් නැති ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ භාණ්ඩාගාරික භාවයෙහි තබත්.
මහණෙනි, භෝගයෙහි මහත්ත්‍වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ මේ සතර කරුණින් හෝ මේ සතර කරුණු අතුරෙන් අන්‍යතරයෙකින් හෝ චිරස්ථායී නො වෙත්.
මහණෙනි, භෝගයෙහි මහත්ත්‍වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ සතර කරුණින් හෝ සතර කරුණු අතුරින් අන්‍යතරයෙකින් හෝ චිරස්ථායී වෙත්. කවර සතර කරුණින් යත්:
නට දෑ සොයත්. දිරූ දැය පිළිසකර කෙරෙත්. පරිමාණ සහිත පාන භෝජන වළඳනාහු වෙත්. සිල් ඇති ස්‍ත්‍රියක හෝ පුරුෂයකු හෝ අධිපතිභාවයෙහි තබත්.
මහණෙනි, භෝගයෙහි මහත්ත්‍වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ මේ සතර කරුණින් හෝ මේ සතර කරුණු අතුරින් අන්‍යතරයෙකින් හෝ චිරස්ථායී වෙත්.