4. 6. 5.
[කුල සූත්රය]
5. මහණෙනි, භෝගයෙහි මහත්ත්වයට පැමිණ යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ සතර කරුණෙකින් හෝ සතර කරුණු අතුරෙන් අන්යතරයෙකින් හෝ චිරස්ථායී නො වෙත්. කවර සතර කරුණෙන යත්:
නට දැය නො සොයත්. දිරූ දැය පිළිසකර නො කෙරෙත්. පරිමාණ රහිත පානභෝජන වළඳනාහු වෙත්. සිල් නැති ස්ත්රියක හෝ පුරුෂයකු හෝ භාණ්ඩාගාරික භාවයෙහි තබත්.
මහණෙනි, භෝගයෙහි මහත්ත්වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ මේ සතර කරුණින් හෝ මේ සතර කරුණු අතුරෙන් අන්යතරයෙකින් හෝ චිරස්ථායී නො වෙත්.
මහණෙනි, භෝගයෙහි මහත්ත්වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ සතර කරුණින් හෝ සතර කරුණු අතුරින් අන්යතරයෙකින් හෝ චිරස්ථායී වෙත්. කවර සතර කරුණින් යත්:
නට දෑ සොයත්. දිරූ දැය පිළිසකර කෙරෙත්. පරිමාණ සහිත පාන භෝජන වළඳනාහු වෙත්. සිල් ඇති ස්ත්රියක හෝ පුරුෂයකු හෝ අධිපතිභාවයෙහි තබත්.
මහණෙනි, භෝගයෙහි මහත්ත්වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ මේ සතර කරුණින් හෝ මේ සතර කරුණු අතුරින් අන්යතරයෙකින් හෝ චිරස්ථායී වෙත්.
4. 6. 6.
[ප්රථම ආජානීය සූත්රය]
6. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූ රජසතු භද්ර අශ්වාජානීය රාජාර්හ වෙයි. රජු විසින් වළඳ කළයුතු වෙයි. රජුගේ අවයවයෙකැයි ගණනට යෙයි. කවර සතර කරුණින් යත්:
මහණෙනි, මෙ ලොව රජක්හුගේ භද්ර අශ්වාජානීයයෙක් වර්ණසම්පන්නත් වේ ද, බලසම්පන්නත් වේ ද, ජවසම්පන්නත් වේ ද, අරෝහපරිණාහ සම්පන්නත් වේ ද, මහණෙනි, මේ සතර කරුණෙන් සමන්වාගත වූ රජසතු භද්ර අශ්වාජානීය රාජාර්හ වෙයි. රජු විසින් වළඳ කළයුතු වෙයි. රජුගේ අවයවයෙකැයි ගණනට යෙයි.
මහණෙනි, එ පරිදි ම සතර ධර්මයෙකින් සමන්වාගත වූ මහණ ආහුනාර්හ වෙයි. ප්රාඝුණාර්හ වෙයි. දක්ෂිණාර්හ වෙයි. අඤ්ජලිකරණාර්හ වෙයි. ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්ර වෙයි. කවර සතර ධර්මයෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ වර්ණසම්පන්න ද වෙයි. බලසම්පන්නද වෙයි. ජවසම්පන්න ද වෙයි. අරෝහපරිණාහසම්පන්න ද වෙයි.
මහණෙනි, මහණ කෙසේ වර්ණසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. … සිකපදයෙහි සමාදන් ව ගෙණ හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්ණසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ බලසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ අකුසල් දහම් ප්රහාණය පිණිස කුසල් දහම් රැස් කිරීම පිණිස ඇරඹු වැර ඇත්තේ ථාමයෙන් යුක්ත වූයේ දැඩි පැරකුම් ඇතියේ කුසල්දහම්හි බහා නොතැබූ වීර්ය්යධූර ඇත්තේ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.
මහණෙනි, මහණ කෙසේ නම් ජවසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ මේ දුඃඛය යි තත් වූ පරිදි දනී. මේ දුඃඛසමුදය යි ... මේ දුඃඛනිරෝධය යි ... මේ දුඃඛ නිරොධගාමිනී ප්රතිපදාය යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ ජවසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ මහණ ආරෝහපරිණාහයෙන් යුක්ත වූයේ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නෙක් වෙයි. මහණෙනි, මෙසේ මහණ ආරෝහ පරිණාහ සම්පන්න වූයේ වෙයි. මහණෙනි, මේ සතර ධර්මයෙන් සමන්වාගත වූ මහණ ආහුන්යෙය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්ර වෙයි.
4. 6. 7.
[දෙවැනි ආජානීය සූත්රය]
7. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූ රජසතු භද්ර අශ්වාජානීය රාජාර්හ වෙයි. රජු විසින් වළඳ කටයුතු වෙයි. රජුගේ අවයවයෙකැයි ගණනට යේ. කවර සතර කරුණින් යත්: