4. 5. 5. 7.
[බහුකාර සූත්‍රය]
49. මහණෙනි, සතර දහම් කෙනෙක් මනුෂ්‍යවූවක්හට බොහෝ උපකාර වෙති. කවර සතර දහම් කෙනෙක යත්:
සත්පුරුෂයන් සෙවුනා බව ය. සද්ධර්‍මශ්‍රවණ ය, නුවණින් මෙනෙහි කිරීම ය, ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්ය යි.
මහණෙනි, මේ සතර දහම්හු මනුෂ්‍ය වූවක්හට බොහෝ උපකාර වෙති.
4. 5. 5. 8.
[අනරියවෝහාර සූත්‍රය]
50. මහණෙනි, මේ අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අදෘෂ්‍ටයෙහි දෘෂ්ටවාදිතා ය, අශ්‍රැතයෙහි ශ්‍රැතවාදිතා ය, අමුතයෙහි මුතවාදිතා ය. අවිඥාතයෙහි විඥාතවාදිතා යි.
මහණෙනි, මේ සතර අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ යි.
4. 5. 5. 9.
[අරියවෝහාර සූත්‍රය]
51. මහණෙනි, මේ ආර්‍ය්‍යව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අදෘෂ්‍ටයෙහි අදෘෂ්ටවාදිතා ය, අශ්‍රැතයෙහි අශ්‍රැතවාදිතා ය, අමුතයෙහි අමුතවාදිතා ය, අවිඥාතයෙහි අවිඥාතවාදිතා යි.
මහණෙනි, මේ සතර ආර්‍ය්‍යව්‍යවහාරයෝ යි.
4. 5. 5. 10.
[අනරියවෝහාර සූත්‍රය]
52. මහණෙනි, මේ අනාර්‍ය්‍යව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දෘෂ්‍ටයෙහි අදෘෂ්ටවාදිතා ය. ශ්‍රැතයෙහි අශ්‍රැතවාදිතා ය, මුතයෙහි අමුතවාදිතා ය, විඥාතයෙහි අවිඥාතවාදිතා ය.
මහණෙනි, මේ සතර අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ යි.
4. 5. 5. 11.
[අරියවෝහාර සූත්‍රය]
53. මහණෙනි, මේ ආර්‍ය්‍යව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දෘෂ්‍ටයෙහි දෘෂ්ටවාදිතා ය, ශ්‍රැතයෙහි ශ්‍රැතවාදිතා ය, මුතයෙහි මුතවාදිතා ය, විඥාතයෙහි විඥාතවාදිතා ය.
මහණෙනි, මේ සතර ආර්‍ය්‍යව්‍යවහාරයෝ ය.
ආපත්ති වර්‍ගය පස්වැනි යි.
පස්වන පණ්‍ණාසක ය යි.
6. අභිඤ්ඤා වර්‍ගය
4. 6. 1.
[අභිඤ්ඤා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, මේ ධර්‍මයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, ප්‍රඥායෙන් දැන (පරිඥේය) අවබෝධ කටයුතු ධර්‍ම කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රඥායෙන් දැන ප්‍රහාතව්‍ය (ප්‍රහාණය කළයුතු) ධර්‍ම කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රඥායෙන් දැන භාවිතව්‍ය (=බැවිය යුතු) ධර්‍ම කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රඥායෙන් දැන සාක්‍ෂාත් කර්‍තව්‍ය (ප්‍රත්‍යක්‍ෂ කටයුතු) ධර්‍ම කෙනෙක් ඇත.
මහණෙනි, ප්‍රඥායෙන් දැන පරිඥෙය්‍ය ධර්‍මයෝ කවරහ: පඤ්චඋපාදානස්‍කන්‍ධයෝ යි. මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන පරිඥේය (අවබෝධකටයුතු) හ යි කියනු ලැබෙත්.
මහණෙනි, ප්‍රඥායෙන් දැන ප්‍රහාතව්‍ය ධර්‍මයෝ කවරහ: අවිද්‍යාව හා භවතෘෂ්ණා යි. මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන ප්‍රහාතව්‍යයහ යි කියනු ලැබෙත්.
මහණෙනි, ප්‍රඥායෙන් දැන භාවිතව්‍ය ධර්‍මයෝ කවරහ: සමථය හා විදර්‍ශනා යි. මහණෙනි, මෙ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන භාවිතව්‍යයහ යි කියනු ලැබෙත්.
මහණෙනි, ප්‍රඥායෙන් දැන සාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍මයෝ කවරහ: විද්‍යාව හා විමුක්ති යි. මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන සාක්‍ෂාත් කර්‍තව්‍යයහ යි කියනු ලැබෙත්.
මහණෙනි, මේ සතර ධර්‍මයෝ යි.
4. 6. 2.
[පරියේසනා සූත්‍රය]
2. මහණෙනි, මේ අනාර්‍ය්‍යයන්ගේ පර්‍ය්‍යෙෂණාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ජරාස්වභාව ඇතියේ ම ජරාස්වභාවය ම සොයයි. තෙමේ ව්‍යාධිස්වභාව ඇතියේ ම ව්‍යාධිස්වභාවය ම සොයයි. තෙමේ මරණස්වභාව ඇතියේ ම මරණස්වභාවය ම සොයයි. තෙමේ සඞ්ක්ලේශස්වභාවය ඇතියේ ම සඞ්ක්ලේශස්වභාවය ම සොයයි.
මහණෙනි, මේ සතර අනාර්‍ය්‍ය පර්‍ය්‍යෙෂණාවෝ යි.