4. 5. 4. 3.
[තෙවන කර්ම සූත්රය]
34. එකල්හි සිඛාමොග්ගල්ලාන බමුණු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු වී. සතුටට කරුණු වූ සිහි කරණුවට නිසි කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පස් ව හුන් සිළුමුගලන් බමුණු භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, පුරිම වූත් පුරිමතර වූත් දිනයෙහි සෝණකායන නම් මාණවක මා කරා එළඹියේ ය. එළඹ මට තෙල කී ය:
මහණ ගොයුම් සියලු කර්මයන්ගේ අක්රියාව පණවයි. සියලු කර්මයන්ගේ අක්රියාව පණවන්නේ ලොවට උච්ඡේදයක් කියයි. භවත්නි, මේ ලෝකය කර්මය සැහැවි කොට ඇත. කර්මසමාරම්භයෙන් (කර්ම රැස් කිරීමෙන්) සිටුනාසුලු ය. (කර්ම නොකරණුයේ උච්ඡේදයට යෙයි යූසේය.)
[භාග්යවත්හු:]
බමුණ, මම සෝණකායන නම් මාණවකයාගේ දැක්මක් ද නො දන්මි. මෙබඳු කථා සල්ලාපයෙක් කොහි වී ද?
බමුණ, මේ සතර කර්ම කෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්රකාශ කරණ ලදහ. කවර සතර කර්මයහ යත්:
බමුණ, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්මයෙක් ඇත. බමුණ, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්මයෙක් ඇත. බමුණ, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්මයෙක් ඇත. කර්මක්ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්මයෙක් ඇති.
බමුණ, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්මය කවරේ ය? බමුණ, මෙලොව ඇතැමෙක් සදොස් වූ කායසංස්කාර රැස් කෙරෙයි. සදොස් වූ වාක්සංස්කාර රැස් කෙරෙයි. සදොස් වූ මනස්සංස්කාර රැස් කෙරෙයි. හේ සදොස් කායසංස්කාර රැස් කොට සදොස් වාක්සංස්කාර රැස් කොට සදොස් මනස්සංස්කාර රැස් කොට සදුක් වූ ලොවට එළඹෙයි. සදුක් ලොවට එළඹියහු සදුක් විපාකස්පර්ශයෝ පහස්නාහ. හේ සදුක් ස්පර්ශයන් විසින් පහස්නා ලද්දේ ම ඒකාන්ත දුඃඛ වූ සදුක් වේදනා විඳී. නිරිසතුන් සෙයිනි. බමුණ, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්ම යි කියනු ලැබේ.
බමුණ, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්මය කවරේ ය? බමුණ, මෙලොව ඇතැමෙක් නිදොස් කායසංස්කාර රැස් කෙරෙයි. නිදොස් වාක්සංස්කාර රැස් කෙරෙයි. නිදොස් මනස්සංස්කාර රැස් කෙරෙයි. හේ නිදොස් කායසංස්කාර රැස් කොට නිදොස් වාක්සංස්කාර රැස් කොට නිදොස් මනස්සංස්කාර රැස් කොට නිදුක් ලෝකයට එළඹෙයි. නිදුක් ලෝකයට එළඹියහු නිදුක් ස්පර්ශයෝ පහස්නාහ. හේ නිදුක් ස්පර්ශයන් විසින් පහස්නා ලද්දේ ඒකාන්ත සුඛ වූ නිදුක් වේදනා විඳී. සුභකිණ්හ දෙවියන් සෙයිනි. බමුණ, මේ ශුක්ලවිපාක ඇති ශුක්ලකර්ම යි කියනු ලැබේ.
බමුණ, කෘෂ්ණ-ශුක්ලවිපාක ඇති කෘෂ්ණ-ශුක්ලකර්මය කවරේ ය? බමුණ, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි. සදොස් වූ ද නිදොස් වූ ද වාක්සංස්කාර රැස් කෙරෙයි. සදොස් වූ ද නිදොස් වූ ද මනස්සංස්කාර රැස් කෙරෙයි. හේ සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාරය රැස් කොට සදොස් වූ ද නිදොස් වූ ද වාක්සංස්කාරය රැස් කොට සදොස් වූ ද නිදොස් වූ ද මනස්සංස්කාරය රැස් කොට සදුක් වූ ද නිදුක් වූ ද ලෝකයට එළඹෙයි. සදුක් වූ ද නිදුක් වූ ද ලොවට එළඹියහු සදුක් වූ ද නිදුක් වූ ද විපාකස්පර්ශයෝ පහස්නාහ. හේ සදුක් වූ ද නිදුක් වූ ද ස්පර්ශයන් විසින් පහස්නා ලද්දේ ව්යවකීර්ණ සුඛදුඃඛ ඇති සදුක් වූ ද නිදුක් වූ ද විපාකවේදනා විඳී. ඇතැම් මිනිසුන් සෙයිනි. ඇතැම් දෙවියන් හා විනිපාතිකයන් ද සෙයිනි. බමුණ, මේ කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ල කර්ම යි කියනු ලැබේ.
බමුණ, කර්මක්ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්මය කවරේ ය? බමුණ, එහි ලා කෘෂ්ණවිපාක ඇති යම් කෘෂ්ණකර්මයෙක් ඇත් ද ඒ කර්මයාගේ ප්රහාණය පිණිස යම් චේතනායෙක් ඇත් ද, ශුක්ලවිපාක ඇති යම් ශුක්ලකර්මයෙක් ඇත් ද ඒ කර්මයාගේ ප්රහාණය පිණිස යම් චේතනායෙක් ඇත් ද, කෘෂ්ණශුක්ලවිපාක ඇති යම් කෘෂ්ණශුක්ලකර්මයෙක් ඇත් ද, ඒ කර්මයාගේ ප්රහාණය පිණිස යම් චේතනායෙක් ඇත් ද, බමුණ, මේ කර්මක්ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්ම යි කියනු ලැබේ.
බමුණ, මේ සතර කර්මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්රකාශ කරණ ලදහ.