4. 5. 4. 4.
[සිවුවන කර්‍ම සූත්‍රය]
35. මහණෙනි, මේ කර්‍මයෝ සතර දෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:
මහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණ කර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ල කර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති කෘෂ්ණ ශුක්ල කර්‍මයෙක් ඇත. මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්‍ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍මයෙක් ඇත.
මහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණ කර්‍මය කවරේය? මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහ මෙර පීමෙහි සිටුනේ වෙයි. මහණෙනි, මේ කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණ කර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ල කර්‍මය කවරේ ය? මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරු වූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මුසාවායෙන් දුරු වූයේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහමෙර පීමෙන් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ ශුක්ල විපාක ඇති ශුක්ල කර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති කෘෂ්ණ ශුක්ල කර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි ... [වාක්සංස්කාර ... මනස්සංස්කාර රැස් කෙරෙයි.] මහණෙනි, මේ කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති කෘෂ්ණ ශුක්ල කර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍මය කවරේ ය? මහණෙනි, එහි ලා කෘෂ්ණ විපාක ඇති යම් කෘෂ්ණ කර්‍මයෙක් වේ ද [ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇත් ද,] මහණෙනි, මේ කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ වූ ද අශුක්ල වූ ද විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ.
4. 5. 4. 5.
[පස්වන කර්‍ම සූත්‍රය]
36. මහණෙනි, මේ කර්‍මයෝ සතර දෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:
මහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණකර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ ශුක්ල විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මයෙක් ඇත.
මහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? මහණෙනි, මෙ ලොව ඇතැමකු විසින් මව දිවියෙන් තොරකරණ ලදු වෙයි. පියා දිවියෙන් තොර කරණ ලද්දේ වෙයි. රහත් දිවියෙන් තොර කරණ ලද්දේ වෙයි. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ කයෙහි ලේ සොල්වන ලද්දේ වෙයි. සඞ්ඝයා බිඳනා ලද්දේ වෙයි. මහණෙනි, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසාවායෙන් දුරුවූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරොස්බසින් දුරුවූයේ වෙයි. පලපින් දුරුවූයේ වෙයි. දළ ලෝභ නැතියේ වෙයි. ව්‍යාපාදයට නොපත් සිත් ඇතියේ වෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි ... මහණෙනි, මේ කෘෂ්ණශුක්ල විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, එහි ලා යම් කර්‍මයක් කෘෂ්ණ වේ ද කෘෂ්ණවිපාක ඇත්තේ වේ ද [ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇද් ද] ... මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා මෙය අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට වදාරණ ලදහ.
4. 5. 4. 6.
[සවන කර්‍ම සූත්‍රය]
37. මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට වදාරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණ කර්‍මයෙක් ඇත. ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මයෙක් ඇත.
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ කායසංස්කාරය රැස් කෙරෙයි ... මහණෙනි, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් නිදොස් වූ කායසංස්කාරය රැස් කෙරෙයි ... මහණෙනි, මේ ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාරය රැස් කෙරෙයි ... මහණෙනි, මේ කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය යි කියනු ලැබේ.