4. 5. 4. 11.
[සප්පුරිසානිසංස සූත්රය]
42. මහණෙනි, සත්පුරුෂයා නිසා අනුසස් සතරෙක් කැමැතිවිය යුතුයි. කවර සතරෙක යත්:
ආර්ය්යශීලයෙන් වැඩෙයි. ආර්ය්යසමාධියෙන් වැඩෙයි. ආර්ය්යප්රඥායෙන් වැඩෙයි. ආර්ය්යවිමුක්තියෙන් වැඩෙයි.
මහණෙනි, සත්පුරුෂයා නිසා මේ සතර අනුසස් කැමැතිවිය යුතුයි.
කර්මවර්ගය සිවුවැනි යි.
5. ආපත්තිභය වර්ගය
4. 5. 5. 1.
[පාපභික්ඛු සූත්රය]
43. එක් කලෙක භාග්යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාම යෙහි වැඩ වසන සේක. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ:
කිම ආනන්දය, ඒ (උපන්) අධිකරණය සන්සිඳුනේ වේ ද? “වහන්ස, කෙසේ ඒ අධිකරණ සන්සිඳෙන්නේ වේ ද, වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ බාහිය නම් සද්ධිවිහාරිකයෙක් වටාගෙණ සඟුන් හි විරුද්ධවාදයට සිටියේ ය. එහි ලා ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ එක් බසකුත් බිණියයුතු සේ නහමක් සිතත්.”
ආනන්දය, කිනම් දිනෙක අනුරුද්ධ සඟුන් මැද අධිකරණයෙහි අනුයෝගවතට නැගේ ද, ආනන්දය, යම්කිසි අධිකරණ කෙනෙක් ඇද්ද, එ හැම තෙපි හෝ සන්සිඳුවන්නාහු නො වේ ද, සැරියුත් මුගලන් දෙනම හෝ සන්සිඳුවන්නාහු නො වේ ද,
ආනන්දය, මේ සතර කරුණක් දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් සතුටු වෙයි. කවර සතර කරුණෙක යත්:
ආනන්දය, මෙසස්නෙහි පවිටු මහණ දුසිල් වූයේ, ලමුදහම් ඇතියේ, කෙලෙසුන් විසින් අපවිත්ර වූයේ, සැකයෙන් සිහිකළ යුතු හැසිරීම් ඇතියේ, පිළිසන් කර්මාන්ත ඇතියේ, අශ්රමණ වූයේත්, ‘ශ්රමණයෙමි යි’ ප්රතිඥා කරණුයේ, අබ්රහ්මචාරී වූයේත්, ‘බ්රහ්මචාරීමි’ යි ප්රතිඥා කරණුයේ, කෙලෙසුන් විසින් ඇතුළත දුඟඳ වූයේ, කෙලෙසුන් විසින් තෙත් වූයේ, හටගත් කෙලෙස්කසළ ඇතියේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මහණහු සිල් නැත්තෙක, පාපධර්ම ඇත්තෙක, කෙලෙසුන් විසින් අපවිත්රයෙක, සැකයෙන් සිහි කළයුතු හැසිරීම් ඇත්තෙක, පිළිසන් කර්මාන්ත ඇත්තෙක, අශ්රමණ වූයේත් ‘ශ්රමණයෙමි’ යි ප්රතිඥා කරන්නෙක, අබ්රහ්මචාරී වූයේත්, ‘බ්රහ්මචාරීමි’ යි ප්රතිඥා කරන්නෙක, කෙලෙසුන් විසින් ඇතුළත දුඟඳ වූයෙක, කෙලෙසුන් විසින් තෙත් වූයෙක, උපන් කෙලෙස් කසළ ඇතියෙකැ’ යි මා දනිත් නම් සමග වූ ඒ මහණහු මා නෙරත්. වැලිත් වර්ග වූවාහු මා නො නෙරත්” කියා යි ආනන්දය, මේ පළමුවන කරුණ දක්මින් පවිවු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.
තවද ආනන්දය, පවිටු මහණ මිසදුටු ඇතියේ අන්තග්රාහදෘෂ්ටියෙන් සමන්වාගත වූයේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් භික්ෂූහු මිථ්යාදෘෂ්ටිකයෙක, අන්තග්රාහදෘෂ්ටියෙන් සමන්වාගතයෙකැ’ යි මා දනිත් ද, සමඟ වූවාහු මා නෙරත්. වර්ග වූවාහු මා නො නෙරත් ය” කියා යි. ආනන්දය, මේ දෙවන කරුණ දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි: