4. 5. 2. 10.
[නවවැනි නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
20. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වේ. කවර සතර කරුණින යත්:
සැදැහැ නැතියේ වෙයි. සිල් නැතියේ වෙයි. කුසීත වෙයි. අප්‍රාඥ වෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වේ.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ. කවර සතර කරුණකින යත්:
සැදැහැ ඇතියේ වෙයි. සිල් ඇතියේ වෙයි. ඇරඹූ වැර ඇතියේ වෙයි. පැණ ඇතියේ වෙයි. මහණෙනි, මේ සිවු කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ.
පරිසෝභන වර්‍ගය දෙවැනි යි.
3. සුචරිත වර්‍ගය
4. 5. 3. 1.
[වචීසුචරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, මේ වාග්දුශ්චරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මුසවා ය, පිසුනුබස් ය, පරොස්බස් ය, පලප් යි. මහණෙනි, මේ සතර වාග්දුශ්චරිතයෝ යි.
මහණෙනි, මේ වාක්සුචරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
සබවස ය, නො පිසුනුබස ය, මොළොක්බස ය, පමණ දැන බණන බස් යී. මහණෙනි, මේ සතර වාක්සුචරිතයෝ යි.
4. 5. 3. 2.
[ප්‍රථම බාල - පණ්ඩිත සූත්‍රය]
22. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ අඥ වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාළ (සාරා ලූ) ගුණ විසින් නට, ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි. කවර සතර කරුණින යත්:
කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන්, මිථ්‍යාදෘෂ්ටියෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාළ, ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ තෙමේ ගුණ විසින් නො සාළ, එයින් නො නට ආත්මයක් පස්වැටුම් කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද නො කටයුතු ද වෙයි. බොහෝ පින් ද රැස් කෙරෙයි. කවර සතර කරුණින යත්:
කායසුචරිතයෙන, වාක්සුචරිතයෙන, මනඃසුචරිතයෙන, සම්‍යග්දෘෂ්ටියෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ තෙමේ ගුණ විසින් නො සාළ, එයින් නො නට ආත්මයක් පස්වටයි. අනවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද නො කටයුතු ද වෙයි. බොහෝ පින් ද රැස් කෙරෙයි.