3. සුචරිත වර්‍ගය
4. 5. 3. 1.
[වචීසුචරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, මේ වාග්දුශ්චරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මුසවා ය, පිසුනුබස් ය, පරොස්බස් ය, පලප් යි. මහණෙනි, මේ සතර වාග්දුශ්චරිතයෝ යි.
මහණෙනි, මේ වාක්සුචරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
සබවස ය, නො පිසුනුබස ය, මොළොක්බස ය, පමණ දැන බණන බස් යී. මහණෙනි, මේ සතර වාක්සුචරිතයෝ යි.
4. 5. 3. 2.
[ප්‍රථම බාල - පණ්ඩිත සූත්‍රය]
22. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ අඥ වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාළ (සාරා ලූ) ගුණ විසින් නට, ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි. කවර සතර කරුණින යත්:
කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන්, මිථ්‍යාදෘෂ්ටියෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාළ, ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ තෙමේ ගුණ විසින් නො සාළ, එයින් නො නට ආත්මයක් පස්වැටුම් කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද නො කටයුතු ද වෙයි. බොහෝ පින් ද රැස් කෙරෙයි. කවර සතර කරුණින යත්:
කායසුචරිතයෙන, වාක්සුචරිතයෙන, මනඃසුචරිතයෙන, සම්‍යග්දෘෂ්ටියෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ තෙමේ ගුණ විසින් නො සාළ, එයින් නො නට ආත්මයක් පස්වටයි. අනවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද නො කටයුතු ද වෙයි. බොහෝ පින් ද රැස් කෙරෙයි.
4. 5. 3. 3.
[දෙවන බාල - පණ්ඩිත සූත්‍රය]
23. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාරා දමන ලද, ගුණ විසින් නට ආත්මයක් පරිහරකය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. කවර සතරෙකින යත්:
කායදුශ්චරිතයෙන, වාක්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන්, අකෘතඥතා-අකෘතවේදිතායෙන. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
කායසුචරිතයෙන, වාක්සුචරිතයෙන, මනඃසුචරිතයෙන, කෘතඥතා-කෘතවෙදිතායෙන. [මේ සතර කරුණින් ... බොහෝ පින් ද රැස් කෙරෙයි.]
4. 5. 3. 4.
[තෙවන බාල - පණ්ඩිත සූත්‍රය]
24. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. [මේ සතර කරුණින් බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
පණිවායෙන් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරු වූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරු වූයේ වෙයි. [මේ සතර කරුණින් බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
4. 5. 3. 5.
[සිවුවන බාල - පණ්ඩිත සූත්‍රය]
25. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
මිසදිටු ඇත්තේ වෙයි. මිථ්‍යාසඞ්කල්ප ඇත්තේ වෙයි. මිථ්‍යාවචන ඇත්තේ වෙයි. මිථ්‍යා කර්‍මාන්ත ඇත්තේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
සම්‍යග් දෘෂ්ටික වෙයි. සම්‍යක් සඞ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග් වචන ඇතියේ වෙයි. සම්‍යක් කර්‍මාන්ත ඇතියේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]