4. 5. 1. 4.
[සිව්වන සප්පුරිස සූත්‍රය]
4. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. ඒ අසව…
මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා කරන්නේ වෙයි ... අභිධ්‍යා බහුල වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැත්තේ වෙයි. මිසදිටු ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවා කිරීමෙහි සමාදන් කරවයි ... තෙමේත් අභිධ්‍යාබහුල වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. තෙමේත් ව්‍යාපාද ඇත්තේ වෙයි. මෙරමාත් ව්‍යාපාදයෙහි සමාදන් කරව යි. තෙමේත් මිසදිටු ඇත්තේ වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි ... අභිධ්‍යාබහුල කොට නැත්තේ වෙයි. ව්‍යාපාද රහිත සිතැත්තේ වෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි ... තෙමේත් අභිධ්‍යාබහුල කොට නැත්තේ වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් නොකරවයි. තෙමේත් අව්‍යාපාද සිතැත්තේ වෙයි. මෙරමාත් අව්‍යාපාදයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.
4. 5. 1. 5.
[පස්වන සප්පුරිස සූත්‍රය]
5. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. ඒ අසව …
මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිසදිටු ඇතියේ වෙයි. මිථ්‍යාසඞ්කල්ප ඇතියේ වෙයි. මිථ්‍යාවාක් ඇතියේ වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇතියේ වෙයි. මිථ්‍යා ආජීව ඇතියේ වෙයි. මිථ්‍යාව්‍යායාම ඇතියේ වෙයි. මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි. මිථ්‍යාසමාධි ඇතියේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාසඞ්කල්ප ඇතියේ වෙයි. මෙරමාත් මිථ්‍යාසඞ්කල්පයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවාක් ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවචනයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාකර්‍මාන්ත ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාකර්‍මාන්තයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාආජීව ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යා ආජීවයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාව්‍යායාම ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාව්‍යායාමයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාස්මෘති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාස්මෘතියෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාසමාධි ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාසමාධියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.