4. 5. 1. 3.
[තෙවන සප්පුරිස සූත්‍රය]
3. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරයා හා, සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. එය අසව…
මහණෙනි, අසත්පුරුෂ කවරේය? මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. පිසුනුබස් ඇතියේ වෙයි. පරොස්බස් ඇතියේ වෙයි. පලප් ඇතියේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයයි කියනු ලැබේ.
මහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ද පණිවා කරන්නේ වෙයි. මෙරමා ද පණිවායෙහි සමාදන් කරවයි. තෙමේ ද අයිනාදන් ගන්නේ වෙයි. මෙරමා ද අයිනාදන්හි සමාදන් කරවයි. තෙමේ ද කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙරමා ද කාමයෙහි මිසහසරෙහි ලා සමාදන් කරවයි. තෙමේ ද මුසවා බණන්නේ වෙයි. මෙරමා ද මුසවායෙහි සමාදන් කරවයි. තෙමේ ද පිසුනුබස් ඇතියේ වෙයි. මෙරමා ද පිසුනුබස් හි සමාදන් කරවයි. තෙමේ ද පරොස් බස් ඇතියේ වෙයි. මෙරමා ද පරොස් බස්හි සමාදන් කරවයි. තෙමේ ද පලප් ඇතියේ වෙයි. මෙරමා ද පලප්හි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුනුබසින් දුරු වූයේ වෙයි. පරොස්බසින් දුරු වූයේ වෙයි. පලපින් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමා ද පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. තෙමේ ද අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමා ද අයිනාදනින් දුරු වීමෙහි සමාදන් කරවයි ... තෙමේ ද පිසුනු බසින් දුරු වූයේ වෙයි. මෙරමා ද පිසුනු බසින් දුරු වීමෙහි සමාදන් කරවයි. තෙමේ ද පරොස් බසින් දුරු වූයේ වෙයි. මෙරමා ද පරොස් බසින් දුරු වීමෙහි සමාදන් කරව යි. තෙමේ ද පලපින් දුරු වූයේ වෙයි. මෙරමා ද පලපින් දුරු වීමෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.
4. 5. 1. 4.
[සිව්වන සප්පුරිස සූත්‍රය]
4. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. ඒ අසව…
මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා කරන්නේ වෙයි ... අභිධ්‍යා බහුල වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැත්තේ වෙයි. මිසදිටු ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.