4. 3. 4. 1.
[සංයෝජනපුග්ගල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්ති ප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්ති භවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනතුරු උත්පත්තිය පිණිස හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්ති භවය පිණිස හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
මහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද, අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද? සකෘදාගාමීහට ය. මහණෙනි, මේ සකෘදාගාමී පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. (ඔහුට ඉතිරි ඕරම්භාගිය සංයෝජන සඳහා කියූ සේය.) අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
මහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද? අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද? උද්ධංසෝත අකනිට්ඨගාමීහට ය. මහණෙනි, මේ උද්ධංසෝත අකනිට්ඨගාමී පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
මහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද? අන්තරාපරිනිබ්බායීහට ය. මහණෙනි, මේ අන්තරාපරිනිබ්බායී පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
මහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද? අර්‍හත්හට ය. මහණෙනි, අර්‍හත් පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගලයෝ විද්‍යමානයහ.
4. 3. 4. 2.
[පටිභානපුග්ගල සූත්‍රය]
32. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
අර්‍ත්‍ථයුක්තප්‍රතිභාන (වැටහීම්) ඇත්තේ, වහා අවුල් මුදා බණන ප්‍රතිභාන නැත්තේ ය. අවුල් මුදා බණන ප්‍රතිභාන ඇත්තේ, අර්‍ත්‍ථයුක්ත ප්‍රතිභාන නැත්තේ ය. අවුල් මුදා බණන ප්‍රතිභාන ද ඇත්තේ, අර්‍ත්‍ථ යුක්ත ප්‍රතිභාන ද ඇත්තේ ය. අර්‍ත්‍ථයුක්ත ප්‍රතිභාන නැත්තේ අවුල් මුදා බණන ප්‍රතිභාන ද නැත්තේ ය.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගලයෝ විද්‍යමානයහ.
4. 3. 4. 3.
[නෙය්‍යපුග්ගල සූත්‍රය]
33. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
උද්ඝාටිතඥ ය, විපථතඥ ය, නෙය්‍ය ය, පදපරම යි.
මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානයහ.
4. 3. 4. 4.
[ඵලූපජීවීපුග්ගල සූත්‍රය]
34. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්?
උට්ඨානවීර්‍ය්‍යඵලයෙන් ජීවත් වනසුලු කර්‍මඵලයෙන් ජීවත් නොවනසුලු පුද්ගල ය, කර්‍මඵලයෙන් ජීවත් වනසුලු උට්ඨානවීර්‍ය්‍යඵලයෙන් ජීවත් නොවනසුලු පුද්ගල ය, උට්ඨානවීර්‍ය්‍යඵලයෙනුදු ජීවත් වනසුලු කර්‍මඵලයෙනුදු ජීවත් වනසුලු පුද්ගල ය, උට්ඨානවීර්‍ය්‍යඵලයෙන් ජීවත් නො වනසුලු කර්‍මඵලයෙනුදු ජීවත් නොවනසුලු පුද්ගල යි.
මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානයහ.