4. 3. 3. 9.
[ආනන්දච්ඡරිය සූත්රය]
29. මහණෙනි, ආනන්දයන් කෙරෙහි මේ සතර ආශ්චර්ය්ය අද්භූත ධර්ම කෙනෙක් ඇත. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, ඉදින් භික්ෂුපර්ෂද් ආනන්දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ආනන්දයෝ දහම් දෙසත් ද, එ පිරිස භාෂිතයෙනුදු සතුටු වෙයි. මහණෙනි, භික්ෂුපර්ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, ඉදින් භික්ෂුණීපර්ෂද් ආනන්දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ආනන්දයෝ දහම් දෙසත් ද, එ පිරිස දෙසීමෙනුදු සතුටු වෙයි. මහණෙනි, භික්ෂුණීපර්ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, ඉදින් උපාසකපර්ෂද් ආනන්දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් ආනන්දයෝ දහම් දෙසත් ද, එ පිරිස දෙසීමෙනුදු සතුටු වෙයි. මහණෙනි, උපාසකපර්ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, ඉදින් උපාසිකාපර්ෂද් ආනන්දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් ආනන්දයෝ දහම් දෙසත් ද, එ පිරිස දෙසීමෙනුදු සතුටු වෙයි. මහණෙනි, උපාසිකාපර්ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, මේ සතර ආශ්චර්ය්ය අද්භූත ධර්මයෝ ආනන්දයන් කෙරෙහි පහළ වෙති.
4. 3. 3. 10.
[චක්කවත්තිඅච්ඡරිය සූත්රය]
30. මහණෙනි, සක්විතිරජහු කෙරෙහි මේ සතර ආශ්චර්ය්ය අද්භූත ධර්ම කෙනෙක් ඇත. කවර සතර ධර්ම කෙනෙක යත්:
මහණෙනි, ඉදින් කැත්පිරිස් සක්විති රජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි සක්විතිරජ බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ක්ෂත්රියපර්ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
මහණෙනි, ඉදින් බමුණුපිරිස් සක්විතිරජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි සක්විතිරජ ඉදින් බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, බ්රාහ්මණපර්ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
මහණෙනි, ඉදින් ගෙහෙවිපිරිස් සක්විතිරජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි සක්විතිරජ ඉදින් බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ගෘහපතිපර්ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
මහණෙනි, ඉදින් මහණපිරිස් සක්විතිරජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් සක්විතිරජ බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ශ්රමණපර්ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
මහණෙනි, සක්විතිරජු කෙරෙහි මේ සතර ආශ්චර්ය්ය අද්භූත ධර්ම කෙනෙක් ඇත.
මහණෙනි, එපරිදි ම ආනන්දයන් කෙරෙහි සතර ආශ්චර්ය්ය අද්භූත ධර්ම කෙනෙක් ඇත. කවර සතර ධර්ම කෙනෙක යත්:
මහණෙනි, ඉදින් මහණපිරිස් ආනන්දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ඉදින් ආනන්ද යෝ දහම් දෙසත් ද, දෙසීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, මහණපිරිස් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, ඉදින් මෙහෙණපිරිස් ... මහණෙනි, ඉදින් උවසුපිරිස් ... මහණෙනි, ඉදින් උවැසි පිරිස් ආනන්දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් ආනන්දයෝ දහම් බෙණෙත් නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, උපාසිකාපර්ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, ආනන්දයන් කෙරෙහි මේ සතර ආශ්චර්ය්ය ධර්ම කෙනෙක් ඇත.
භයවර්ගය තෙවැනි යි.