4. 3. 3. 10.
[චක්කවත්තිඅච්ඡරිය සූත්‍රය]
30. මහණෙනි, සක්විතිරජහු කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් ඇත. කවර සතර ධර්‍ම කෙනෙක යත්:
මහණෙනි, ඉදින් කැත්පිරිස් සක්විති රජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි සක්විතිරජ බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ක්‍ෂත්‍රියපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
මහණෙනි, ඉදින් බමුණුපිරිස් සක්විතිරජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි සක්විතිරජ ඉදින් බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, බ්‍රාහ්මණපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
මහණෙනි, ඉදින් ගෙහෙවිපිරිස් සක්විතිරජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි සක්විතිරජ ඉදින් බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ගෘහපතිපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
මහණෙනි, ඉදින් මහණපිරිස් සක්විතිරජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් සක්විතිරජ බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ශ්‍රමණපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
මහණෙනි, සක්විතිරජු කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් ඇත.
මහණෙනි, එපරිදි ම ආනන්‍දයන් කෙරෙහි සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් ඇත. කවර සතර ධර්‍ම කෙනෙක යත්:
මහණෙනි, ඉදින් මහණපිරිස් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ඉදින් ආනන්‍ද යෝ දහම් දෙසත් ද, දෙසීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, මහණපිරිස් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, ඉදින් මෙහෙණපිරිස් ... මහණෙනි, ඉදින් උවසුපිරිස් ... මහණෙනි, ඉදින් උවැසි පිරිස් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් ආනන්‍දයෝ දහම් බෙණෙත් නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, උපාසිකාපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, ආනන්‍දයන් කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය ධර්‍ම කෙනෙක් ඇත.
භයවර්‍ගය තෙවැනි යි.
4. පුග්ගල වර්‍ගය
4. 3. 4. 1.
[සංයෝජනපුග්ගල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්ති ප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්ති භවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනතුරු උත්පත්තිය පිණිස හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්ති භවය පිණිස හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
මහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද, අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද? සකෘදාගාමීහට ය. මහණෙනි, මේ සකෘදාගාමී පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. (ඔහුට ඉතිරි ඕරම්භාගිය සංයෝජන සඳහා කියූ සේය.) අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
මහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද? අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද? උද්ධංසෝත අකනිට්ඨගාමීහට ය. මහණෙනි, මේ උද්ධංසෝත අකනිට්ඨගාමී පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
මහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද? අන්තරාපරිනිබ්බායීහට ය. මහණෙනි, මේ අන්තරාපරිනිබ්බායී පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.