4. 3. 3. 8.
[දුතියතථාගතඅච්ඡරිය සූත්‍රය]
28. මහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් පහළ වෙත්. කවර සතර ධර්‍ම කෙනෙක යත්:
මහණෙනි, ප්‍රජා තොමෝ ආලය ආරාම කොට ඇත්තී (පඤ්චකාම ගුණ) ආලයෙහි ඇලුනී වෙයි. ආලයෙහි ප්‍රමුදිත වෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් විවට ඇසුරු කළ අරීදහම් දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගනු පිණිස සිත එළවයි.
මහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.
මහණෙනි, ප්‍රජාව මානය ආරාම කොට ඇත්තී මානයෙහි ඇලුනී මානයෙහි ප්‍රමුදිත වූවා වෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් මානවිනයකර ධර්‍මය දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගනු පිණිස සිත් එළවයි.
මහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.
මහණෙනි, ප්‍රජාව අනුපශමය ආරාම කොට ඇත්තී අනුපශමයෙහි ඇලුනී අනුපශමයෙහි ප්‍රමුදිත වෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් උපශමකර ධර්‍මය දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගන්නා සිත් එළවයි.
මහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ තුන්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.
මහණෙනි, ප්‍රජාව අවිද්‍යායෙන් සමන්‍වාගතය. අවිද්‍යායෙන් වළඳනා ලදුයෙන් අණ්ඩභූතය. හාත්පස වළඳනා ලදු ය. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් අවිද්‍යාවිනය ඇසුරු කළ ධර්‍මය දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගන්නා සිත් එළවයි.
මහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර වැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.
මහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ පහළ වෙයි.
4. 3. 3. 9.
[ආනන්‍දච්ඡරිය සූත්‍රය]
29. මහණෙනි, ආනන්‍දයන් කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් ඇත. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, ඉදින් භික්‍ෂුපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස භාෂිතයෙනුදු සතුටු වෙයි. මහණෙනි, භික්‍ෂුපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, ඉදින් භික්‍ෂුණීපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස දෙසීමෙනුදු සතුටු වෙයි. මහණෙනි, භික්‍ෂුණීපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, ඉදින් උපාසකපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස දෙසීමෙනුදු සතුටු වෙයි. මහණෙනි, උපාසකපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, ඉදින් උපාසිකාපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස දෙසීමෙනුදු සතුටු වෙයි. මහණෙනි, උපාසිකාපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ ආනන්‍දයන් කෙරෙහි පහළ වෙති.