4. 3. 3. 7.
[තථාගත අච්ඡරිය සූත්‍රය]
27. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් පහළ වෙත්. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, යම් කලෙක බෝසත් තුසීදෙව්ලොවින් සැව සිහි නුවණින් යෙදී මවුකුස පිළිසිඳ ගත්තේ වේ ද, එසඳ පඤ්චකාමාවචර දෙවියන් සහිත, සවන කාමාවචර දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සෙසු දෙවි මිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල වූ අවහාසයෙක් පහළ වෙයි. යම් නිරයෙක මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාගේ රශ්මීහු නො වැද ගණිත් ද, වළ දොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරු ඇති (චක්‍ෂුර්විඥාන වළහන) යම් ඒ ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වේ. එහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද, ඔහුත් ඒ අවහාසයෙන් “‘භවත්නි, අන්‍ය වූත් සත්ත්‍වයෝ මෙහි පහළවූවාහු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ පළමුවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම ය පහළ වෙයි.
තවද මහණෙනි, යම් කලෙක බෝසත් සිහි නුවණින් යුක්ත ව මවු කුසින් බිහි වේ ද, එසඳ පඤ්චකාමාවචර දෙවියන් සහිත, සවන කාමාවචර දෙවියන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සෙසු දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. යම් තැනෙක මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු මහත් අනුභාව ඇති, මේ සඳහිරු දෙදෙනාගේ කාන්තීහු නො වැද ගණිත් ද, එබඳු වූ වළ දොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරින් ඇස් මුවහ කළ යම් ඒ ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාව ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වේ. එහි යම් සත්හු උපන්හු ද ඔහුදු ඒ අවහාසයෙන් “භවත්නි, අන්‍යවූත් සත්ත්‍වයෝ මෙහි උපන්නාහු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ දෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම ය පහළ වෙයි.
තවද මහණෙනි, යම් කලෙක තථාගතයන් වහන්සේ අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කරණ සේක් ද, එසඳ සදේවක සමාරක සබ්‍රහ්මක ලෝකයෙහි සශ්‍රමණබ්‍රාහ්මණ සදේවමනුෂ්‍ය ප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. යම් තැනෙක මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු මහත් අනුභාව ඇති, මේ සඳහිරු දෙදෙනාගේ කාන්තීහු නො වැද ගණිත් ද, එබඳු වූ වළදොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරින් ඇස් මුවහ කළ යම් ඒ ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. එහි යම් සත්හු උපන්හු ද, ඔහුත් ඒ අවහාසයෙන් “භවත්නි, අන්‍යසත්ත්‍වයෝත් මෙහි උපන්හු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ තෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම ය පහළ වේ.
තවද මහණෙනි, යම් කලෙක තථාගතයන් වහන්සේ අනුත්තර ධර්‍මචක්‍රය පවත්වන සේක් ද, එසඳ සදේවක සමාරක සබ්‍රහ්මක ලෝකයෙහි, සශ්‍රමණබ්‍රාහ්මණ සදේවමනුෂ්‍ය සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. යම් තැනෙක මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාගේ කාන්තිහු නො වැද ගණිත් ද, වළදොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරින් මුවහ කළ ඇස් ඇති යම් ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාව ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. එහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද, ඔහුත් ඒ අවහාසයෙන් “භවත්නි, අන්‍ය වූත් සත්ත්‍වයෝ මෙහි උපන්නාහු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ සතරවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.
මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙත්.
4. 3. 3. 8.
[දුතියතථාගතඅච්ඡරිය සූත්‍රය]
28. මහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් පහළ වෙත්. කවර සතර ධර්‍ම කෙනෙක යත්:
මහණෙනි, ප්‍රජා තොමෝ ආලය ආරාම කොට ඇත්තී (පඤ්චකාම ගුණ) ආලයෙහි ඇලුනී වෙයි. ආලයෙහි ප්‍රමුදිත වෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් විවට ඇසුරු කළ අරීදහම් දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගනු පිණිස සිත එළවයි.
මහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.