4. 3. 3. 2.
[උදකොරෝගභය සූත්‍රය]
22. මහණෙනි, දියට බස්නහුට මේ භීතීහු සතර දෙනෙක් කැමැති විය යුත්තාහ. කවර සතර දෙනෙක යත්: රළ බිය, කිඹුල් බිය, සුළි බිය, සැඩමස් බිය යි. මහණෙනි, දියට බස්නහුව මේ සතර භීතීහු කැමැති විය යුත්තාහ.
මහණෙනි, එපරිදි ම සැදැහැයෙන් ගිහිගෙන් නික්ම මේ ශාසනයෙහි පැවිදි වන ඇතැම් කුලපුත්‍රයකුට මේ සතර භීතීහු කැමැති විය යුත්තාහ. කවර සතර භීතීහු ය යත්: ඌමිභය, කුම්භීලභය, ආවට්ටභය, සුසුකාභය යි.
මහණෙනි, ඌමිභය නම් කවරේය යත්: මහණෙනි, “ජාතිවිසිනුදු ජරාමරණවිසිනුදු ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසවිසිනිදු අවතීර්‍ණයෙමි. දුකට බටුයෙමි. දුක් විසින් මැඩුනෙම් වෙමි. මේ කේවලදුඃඛස්කන්‍ධයාගේ අවසන් කිරීම පැණේ නම් මනා නම් නු” යි. මෙ ලොව ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි.
එසේ පැවිදි වූ තෙල මුහුට සබ්‍රම්සරු අවවාද කෙරෙත්, අනුශාසනා කෙරෙත්: “තොප විසින් මෙසේ පෙරට යා යුතුය. තොප විසින් මෙසේ වටාලා ආ යුතුය. තොප විසින් මෙසේ ඉදිරි බැලිය යුතුය. තොප විසින් මෙසේ හාත්පස බැලිය යුතුය. තොප විසින් මෙසේ අත් පා වක්කළ යුතුය. තොප විසින් මෙසේ අත් පා දිගු කළ යුතුය. තොප විසින් මෙසේ සඟළ පාසිවුරු දැරිය යුතුය” කියා යි.
ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “පෙර අපි ගිහි වූවමෝ සෙස්සනට අවවාදත් කරමෝ වම්හ, අනුශාසනාත් කරමෝ වම්හ. මොහු වනාහි අපගේ පුත්‍රමාත්‍රයන් බන්දහ, මුණුපුරන් බන්දහ. (එහෙත් අප) අවවාද කළ යුතු කොට අනුශාසනා කළ යුතු කොට හඟිති” යි. හේ කිපියේ නොසතුටු සිත් ඇතියේ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිගෙට පෙරළා වැටෙයි. මහණෙනි, මේ මහණ ඌමිභයෙන් බිය වූයේ ශික්‍ෂාව හැර ගිහිගෙට පෙරළා වැටුනේ ය යි කියනු ලැබේ. මහණෙනි, ඌමිභය යනු ක්‍රෝධ-උපායාසයට තෙල නමෙකි. මහණෙනි, මේ ඌමිභය යි කියනු ලැබේ.
මහණෙනි, කුම්භීලභය නම් කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව ඇතැම් කුලපුත්‍රයෙක් “ජාතිවිසින් ජරාමරණවිසින් ශෝකපරිදේව දුඃඛදෞර්‍මනස්‍යවිසින් අවතීර්‍ණයෙමි. දුකට බටුයෙමි. දුක්විසින් මැඩුනෙම් වෙමි. මේ කේවලදුඃඛස්කන්‍ධයාගේ අවසන් කිරීම පැණේ නම් මනා නම් නු” යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි.
එසේ පැවිදි වූ තෙල මුහුට සබ්‍රම්සරු අවවාද කරත්, අනුශාසනා කරත්. “මේ තොප විසින් කෑ යුතුය, මේ තොප විසින් නො කෑ යුතුය, මේ තොප විසින් බිදිය යුතුය, මේ තොප විසින් නො බිදිය යුතුය, මේ තොප විසින් ආස්වාද කළ යුතුය, මේ තොප විසින් ආස්වාද නො කළ යුතුය, මේ තොප විසින් පිය යුතුය, මේ තොප විසින් නො පිය යුතුය, තොප විසින් කැප දෑ කෑ යුතුය. තොප විසින් නො කැප දෑ නො කෑ යුතුය. තොප විසින් කැප දෑ බිදිය යුතුය, තොප විසින් නො කැප දෑ නො බිදිය යුතුය, තොප විසින් කැප දෑ ආස්වාද කට යුතුය, තොප විසින් නො කැප දෑ ආස්වාද නො කට යුතුය, තොප විසින් කැප දෑ පිය යුතුය, තොප විසින් නො කැප දෑ නො පිය යුතුය, තොප විසින් නිසි කාලයෙහි පිය යුතුය, තොප විසින් විකාලයෙහි නො පිය යුතුය, තොප විසින් කාලයෙහි කෑ යුතුය, තොප විසින් විකාලයෙහි නො කෑ යුතුය, තොප විසින් කාලයෙහි බිදිය යුතුය, තොප විසින් විකාලයෙහි නො බිදිය යුතුය, තොප විසින් කාලයෙහි ආස්වාද කටයුතුය, තොප විසින් විකාලයෙහි ආස්වාද නො කට යුතුය” කියා යි.
ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “අපි පෙර ගිහි වූවමෝ යමක් කැමැත්තමෝ නම් එය කම්හ. යමක් නො කැමැත්තමෝ නම් එය නො කම්හ. යමක් කැමැත්තමෝ නම් එය බිදිම්හ. යමක් නො කැමැත්තමෝ නම් එය නො බිදිම්හ. යමක් කැමැත්තමෝ නම් එය ආස්වාද කරම්හ. යමක් නො කැමැත්තමෝ නම් එය ආස්වාද නොකරම්හ. යමක් කැමැත්තමෝ නම් එය බොම්හ. යමක් නො කැමැත්තමෝ නම් එය නො බොම්හ. කැප දැය ද කම්හ, අකැප දැය ද කම්හ. කැප දැය ද බිදිම්හ, අකැප දැය ද බිදිම්හ. කැප දැය ද ආස්වාද කරම්හ, අකැප දැය ද ආස්වාද කරම්හ. කැප දැය ද බොම්හ, අකැප දැයද බොම්හ. කාලයෙහි ද කම්හ, විකාලයෙහි ද කම්හ. කාලයෙහි ද බිදිම්හ, විකාලයෙහි ද බිදිම්හ, කාලයෙහි දු ආස්වාද කරම්හ, විකාලයෙහි ද ආස්වාද කරම්හ. කාලයෙහි ද බොම්හ, විකාලයෙහි ද බොම්හ. සැදැහැති ගෙහෙවිහු දාවල විකාලයෙහිත් අපට යම් පිණී ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් දෙත් ද, එහිත් මොහු මුඛාවරණ කරණවුන් බන්දහ” යි හේ කිපියේ නො සතුටු සිත් ඇතියේ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහිගෙට පෙරළා වැටෙයි. මහණෙනි, මෙ මහණ කුම්භීලභයෙන් බිය වූයේ ශික්‍ෂාව හැර පියා ගිහිගෙට පෙරළා වැටිනැ යි කියනු ලැබේ. මහණෙනි, කුම්භීලභය යනු මහොදරභාවයට (බොහෝකනුවට) තෙල නමෙකි. මහණෙනි, මේ කුම්භීභය යි කියනු ලැබේ.
මහණෙනි, ආවට්ටභය නම් කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව ඇතැම් කුලපුත්‍රයෙක් “ජාතිවිසින් ජරාමරණවිසින් ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසවිසින් අවතීර්‍ණයෙමි. දුකට බටුයෙමි. දුක්විසින් පෙළුනෙමි. මේ කේවලදුඃඛස්කන්‍ධයාගේ කෙළවර කිරීම පැණේ නම් මනා නම් නු” යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වැදුනේ වෙයි. හේ මෙසේ පැවිදි වූයේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ ගමට හෝ නියම්ගමට හෝ නො රැකි වූ ම කයින් නො රැකි වචනයෙන් නො රැකි සිතින් නො එළඹ සිටි සිහියෙන් අසංවෘත ඉන්‍ද්‍රියයෙන් පිඬු පිණිස පිවිසෙයි. හේ එහි දී පස්කම්ගුණෙන් සමර්පිත සමන්‍විත ඉඳුරන් පිණවන ගොවියකු හෝ ගොවියා පුතකු හෝ දක්නේ ය. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: අපි පෙර ගිහි වූවමෝ පස්කම් ගුණයෙන් සමර්පිත ව සමන්‍විත ව ඉඳුරන් පිණවූම්හ. මාගේ කුලයෙහි භෝගයෝ විද්‍යමානයහ. භෝගයන් වළඳන්නට ද පින් කරන්නට ද හැකිය. ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහිගෙට වැටී භෝගයන් වළඳම් නම් පින් ද කෙරෙම් නම් මැනැව” කියා යි. හෙ ශික්‍ෂාව හැර පියා ගිහිගෙට වටාලා වැටෙයි. මහණෙනි, මේ මහණ ආවට්ටභයෙන් බිය වූයේ ශික්‍ෂාව හැර ගිහිගෙට වැටිනැ යි කියනු ලැබේ. මහණෙනි, ආවට්ටභය යනු පස්කම් ගුණයට තෙල නමෙකි. මහණෙනි, මේ ආවට්ටභය යි කියනු ලැබේ.