4. 3. 3. 1.
[භය සූත්රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, මේ සතර භීතීහු වෙති. කවර සතරහ යත්: ආත්මානුවාදභය ය. පරානුවාදභය ය. දණ්ඩභය ය. දුර්ගතිභය යි.
මහණෙනි, ආත්මානුවාදභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැම් එකෙක් මෙසේ සලකයි. ‘මම ද කයින් දුශ්චරිත කෙරෙම් නම්, වචනයෙන් දුශ්චරිත කෙරෙම් නම්, සිතින් දුශ්චරිත කෙරෙම් නම්, කිම, තෙමේ ඒ මට සීලයෙන් උපවාද නො කරන්නේ වේ ද?, හේ ආත්මානුවාදභයට බියපත් වූයේ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනඃසුචරිතය වඩයි. ශුද්ධ වූ ආත්මයක් පරිහරණය කෙරේ. මහණෙනි, මේ ආත්මානුවාදභය යි කියනු ලැබේ.
මහණෙනි, පරානුවාදභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ සලකයි: ‘මම වැලිත් කයින් දුශ්චරිත කෙරෙම් නම්, වචනයෙන් දුශ්චරිත කෙරෙම් නම්, සිතින් දුශ්චරිත කෙරෙම් නම්, කිම, පරහු ඒ මට ශීලයෙන් උපවාද නො කරන්නාහු වෙත් ද?, හේ පරානුවාදභයට බියපත් වූයේ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනඃසුචරිතය වඩයි. ශුද්ධ වූ ආත්මයක් පරිහරණය කෙරේ. මහණෙනි, මේ පරානුවාදභය යි කියනු ලැබේ.
මහණෙනි, දණ්ඩභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැමෙක් අපරාධකාරී සොරකු දකී. රජදරුවෝ තෙල සොරු ගෙණ විවිධ වූ කම්කටොලු කරත් - කස වැලිනුදු තළත් ද, වේවැලිනුදු තළත් ද, අඩදඬුයෙනු දු තළත්ද, අතු දු සිඳිත් ද, පාත් සිඳිත් ද, අත්පාත් සිඳිත් ද, කනුදු සිඳිත් ද, නාසාත් සිඳිත් ද, කන් නාසාත් සිඳිත් ද, බිලඞ්ගථාලික නම් වධයත් කෙරෙත් ද, සඞ්ඛමුණ්ඩික නම් වධයත් කෙරෙත් ද, රාහුමුඛ නම් වධයත් කෙරෙත් ද, ජෝතිමාලික නම් වධයත් කෙරෙත් ද, හත්ථපජ්ජෝතික නම් වධයත් කෙරෙත් ද, එරකවත්තික නම් වධයත් කෙරෙත් ද, චීරකවාසික නම් වධයත් කෙරෙත් ද, එණෙය්යක නම් වධයත් කෙරෙත් ද, බලිසමංසික නම් වධයත් කෙරෙත් ද, කහාපණක නම් වධයත් කෙරෙත් ද, ඛාරාපතච්ඡික නම් වධයත් කෙරෙත් ද, පලිඝපරිවත්තික නම් වධයත් කෙරෙත් ද, පලාලපීඨක නම් වධයත් කෙරෙත් ද, කකියන තෙලිනුත් ඉසිත් ද, සුනඛයන් ලවාත් කවත් ද, දිවස් හුල හිඳුවත් ද, කඩුවෙනුදු හිස සිඳිත් ද, (මෙබඳු දඬුවම් ලබන සොරුයි.)
ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “යම්බඳු පාපකර්ම හේතුයෙන් අපරාධකාරී සොරකු ගෙන රජදරුවෝ විවිධ කම්කටොලු කරත් ද, කස වැලිනුදු තළත් ද ... කඩුවෙනුත් හිස සිඳිත් ද, මම ද මෙබඳු පාපකර්ම කෙරෙම් නම් රජ දරුවෝ මයිත් ගෙණ මෙබඳු විවිධ කම්කටොලු කරන්නාහු ය. කසවැලිනුදු ගළන්නාහු ය. වේවැලිනුදු තළන්නාහු ය. අඩදඬුයෙනු දු තළන්නාහු ය. අතු දු සිඳින්නාහු ය. පාත් සිඳින්නාහු ය. අත්පාත් සිඳින්නාහු ය. කනුදු සිඳින්නාහු ය. නාසාත් සිඳින්නාහු ය. කන් නාසාත් සිඳින්නාහු ය. බිලඞ්ගථාලික නම් වධයත් කරන්නාහු ය. සඞ්ඛමුණ්ඩික නම් වධයත් කරන්නාහු ය. රාහුමුඛ නම් වධයත් කරන්නාහු ය. ජෝතිමාලික නම් වධයත් කරන්නාහු ය. හත්ථපජ්ජෝතික නම් වධයත් කරන්නාහු ය. එරකවත්තික නම් වධයත් කරන්නාහු ය. චීරකවාසික නම් වධයත් කරන්නාහු ය. එණෙය්යක නම් වධයත් කරන්නාහු ය. බලිසමංසික නම් වධයත් කරන්නාහු ය. කහාපණක නම් වධයත් කරන්නාහු ය. ඛාරාපතච්ඡික නම් වධයත් කරන්නාහු ය. පළිඝපරිවත්තික නම් වධයත් කරන්නාහු ය. පලාලපීඨක නම් වධයත් කරන්නාහු ය. කකියන තෙලිනුත් ඉස්නාහු ය. සුනඛයන් ලවාත් කවන්නාහු ය. දිවස් හුල නගන්නාහු ය. කඩුවෙනුදු හිස සිඳිනුනාහු ය”’ යි. හේ දණ්ඩභයට බිය වූයේ මෙරමා අයත් වස්තුව පැහැර ගණිමින් නො හැසිරෙයි. මහණෙනි, මේ දණ්ඩභය යි කියනු ලැබේ.
මහණෙනි, දුර්ගතිභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැමෙක් මේ සේ සලකයි: කායදුශ්චරිතයාගේ පරලොව ලමු විපාකයෙක. වචීදුශ්චරිතයාගේ පරලොව ලමු විපාකයෙක. මනෝදුශ්චරිතයාගේ පරලොව ලමු විපාකයෙක. මම ද වැලිත් කයින් දුශ්චරිත කෙරෙම් නම්, වචනයෙන් දුශ්චරිත කෙරෙම් නම්, සිතින් දුශ්චරිත කෙරෙම් නම්, කිම, ඒ හේතුවෙන් යම් බඳු මම කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටි, නපුරු ගති ඇති, විවශ ව පතිත වන නිරයෙහි නූපදින්නෙම් වේ දැ යි හෙතෙම දුර්ගතිභයට බිය වූයේ කායදුශ්චරිතය හැර පියා කායසුචරිතය වඩයි. වචීදුශ්චරිතය හැර පියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැර පියා මනස්සුචරිතය වඩයි. ශුද්ධාත්මභාවයක් පරිහරණය කෙරෙයි. මහණෙනි, මේ දුර්ගතිභය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර භීතීහු යි.