4. 3. 2. 8.
[සංවේජනීය සූත්‍රය]
18. මහණෙනි, සැදැහැති කුලපුතකු විසින් දැක්ක යුතු, සංවේග කටයුතු, මේ ස්ථානයෝ සතරෙක. කවර සතරෙක යත්:
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ උපන්හ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කළහයි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර ධර්‍මචක්‍රය පැවැත්වූහ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්‍වාණධාතුවෙන් පිරිනිවියහ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
මහණෙනි, සැදැහැති කුලපුතකු විසිනු දැක්කයුතු සංවේග කටයුතු මේ සතර ස්ථානයෝ යි.
4. 3. 2. 9.
[භය සූත්‍රය]
19. මහණෙනි, මේ සතර භීතිහු වෙති. කවර සතරහ යත්: ජාති භය ය. ජරා භය ය. ව්‍යාධි භය ය. මරණ භය යි.
මහණෙනි, මේ සතරභීතීහු යි.
4. 3. 2. 10.
[දුතිය භය සූත්‍රය]
20. මහණෙනි, මේ සතර භීතීහු වෙති. කවර සතරහ යත්: අග්නිභය ය. උදකභය ය. රාජභය ය. චෝරභය යි.
මහණෙනි මේ සතර භීතීහු යි.
කෙසීවර්‍ගය දෙවැනි යි.
3. භය වර්‍ගය
4. 3. 3. 1.
[භය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, මේ සතර භීතීහු වෙති. කවර සතරහ යත්: ආත්මානුවාදභය ය. පරානුවාදභය ය. දණ්ඩභය ය. දුර්‍ගතිභය යි.
මහණෙනි, ආත්මානුවාදභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැම් එකෙක් මෙසේ සලකයි. ‘මම ද කයින් දුශ්චරිත කෙරෙම් නම්, වචනයෙන් දුශ්චරිත කෙරෙම් නම්, සිතින් දුශ්චරිත කෙරෙම් නම්, කිම, තෙමේ ඒ මට සීලයෙන් උපවාද නො කරන්නේ වේ ද?, හේ ආත්මානුවාදභයට බියපත් වූයේ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනඃසුචරිතය වඩයි. ශුද්ධ වූ ආත්මයක් පරිහරණය කෙරේ. මහණෙනි, මේ ආත්මානුවාදභය යි කියනු ලැබේ.
මහණෙනි, පරානුවාදභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ සලකයි: ‘මම වැලිත් කයින් දුශ්චරිත කෙරෙම් නම්, වචනයෙන් දුශ්චරිත කෙරෙම් නම්, සිතින් දුශ්චරිත කෙරෙම් නම්, කිම, පරහු ඒ මට ශීලයෙන් උපවාද නො කරන්නාහු වෙත් ද?, හේ පරානුවාදභයට බියපත් වූයේ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනඃසුචරිතය වඩයි. ශුද්ධ වූ ආත්මයක් පරිහරණය කෙරේ. මහණෙනි, මේ පරානුවාදභය යි කියනු ලැබේ.