[මූසිකා සූත්‍රය]
7. මහණෙනි, මේ මූෂිකාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
බිල කරන්නී වාස නො කරන්නී ය, වාස කරන්නී බිල නො කරන්නී ය. බිල නො කරන්නී ම වාස නො කරන්නී ය. බිල කරන්නීත් වාස ද කරන්නී ය. මහණෙනි, මේ සතර මූෂිකාවෝ ය.
මහණෙනි, එපරිදි ම මේ මූෂිකෝපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක් ද යත්:
බිල කරන්නේ වාස නො කරන්නේ ය. වාස කරන්නේ බිල නො කරන්නේ ය. බිල නො කරන්නේ ම වාස ද නො කරන්නේ ය. බිල කරන්නේත් වාස ද කරන්නේ යි.
මහණෙනි, කෙසේ පුද්ගල බිල කරන්නේ වාස නො කරන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි නො දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල බිල කරන්නේ වාස නො කරන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව බිල කරන්නී වාස නොකරන්නී වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල වාස කරන්නේ බිල නොකරන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නො හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල වාස කරන්නේ බිල නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව වාස කරන්නී බිල නොකරන්නී වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල බිල නොකරන්නේ ම වාස නො කරන්නේත් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නො හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි නො දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල බිල නො කරන්නේ ම වාසත් නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව බිල නොකරන්නී වාස නො කරන්නී වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල බිල කරන්නේත් වාස කරන්නේත් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල බිල කරන්නේත් වාස කරන්නේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව බිල කරන්නීත් වාස කරන්නීත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, මේ මූෂිකෝපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 1. 8.
[බලීවද්ද සූත්‍රය]
8. මහණෙනි, මේ බලීවර්‍දයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
සිය ගෙරිනට සැඬ වූයේ අන් ගෙරිනට සැඬ නොවූයේය, අන් ගෙරිනට සැඬ වූයේ සිය ගෙරිනට සැඬ නොවූයේය, සිය ගෙරිනට සැඬ වූයේත් අන් ගෙරිනට ද සැඬ වූයේ ය, සිය ගෙරිනට සැඬ නොවූයේ ම අන් ගෙරිනට ද සැඬ නොවූයේය. මහණෙනි, මේ සතර බලීවර්‍දයෝයි.
මහණෙනි, එපරිදි ම බලීවර්‍දොපම වූ මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ.