4. 3. 1. 4.
[උදකරහද සූත්‍රය]
4. මහණෙනි, මේ දිය පිරුණු දහතළාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
නො ගැඹුරු වූ (එහෙත්) ගැඹුරු සේ පැණෙන එකෙක, ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන එකෙක. නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන එකෙක. ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන එකෙක. මහණෙනි, මේ සතර දිය පිරුණු දහතළාවෝ යි.
මහණෙනි, එපරිදි ම දහතළා බඳු පුද්ගලයෝ මේ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන එකෙක. ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන එකෙක. නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන එකෙක. ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන එකෙකැ.
මහණෙනි, කෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, වටා බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී. “මේ දුක්ඛසමුදය”යි ... “මේ දුක්ඛ නිරෝධය”යි ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි හේ දහතළාව නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, පසු බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ නො වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී පටිපදා”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි හේ දහතළාව ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, පසු බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු හැරීම, සඟළපාසිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ නො වේ. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණුම් ඇත්තේ වෙයි. මහණෙනි, යම් සේ ඒ දහතළාව නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණුම් ඇත්තේ වේ ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ගැඹුරු වූයේ ගැඹුරු පැණුම් ඇත්තේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි ගමන, පසු ගමන, ඉදිරි බැලීම, පසු බැලීම, ආකුඤ්චනය, ප්‍රසාරණය, සඟළපාසිවුරු දැරීම ප්‍රසාදජනක වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වෙයි. මහණෙනි, යම්සේ ඒ දහතළාව ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වේ ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, දහතළා බඳු මේ සතර වැදෑරුම් පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 1. 5.
[අම්බ සූත්‍රය]
5. මහණෙනි, මෙ අඹපල සතරෙකි. කවර සතරෙක යත්:
අමුවූයේ පැසුනුවන් එකෙක. පැසුනේ අමුවන් එකෙක. අමුවූයේ අමුවන් එකෙක. පැසුනේ පැසුනුවන් එකෙක. මහණෙනි, මේ සතර අඹපලයි.
මහණෙනි, එපරිදි ම ලොව්හි මේ අඹ බඳු පුඟුලෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
අමුවූයේ පැසුනුවන් එකෙක. පැසුනේ අමුවන් එකෙක. අමුවූයේ අමුවන් එකෙක. පැසුනේ පැසුනුවන් එකෙක.
මහණෙනි, කෙසේ පුද්ගල අමුවූයේ පැසුනුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරියෑම, පසුඊම, ඉදිරි බැලීම, අවට බැලීම, අත්පා හැකිළීම, අත්පා දිගුකිරීම, සඟළපාසිවුරු දැරීම යන මේ ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි නො දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල අමුවූයේ පැසුනුවන් වෙයි. මහණෙනි, යම් සේ ඒ අඹය අමු වූයේ පැසුනුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල පැසුනේ අමුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලක්හුගේ ගමන, ආගමන, ආලෝකන, විලෝකන, ආකුඤ්චන, ප්‍රසාරණ, සඞ්ඝාටිපාත්‍රචීවරධාරණ යන මේ ප්‍රාසාදික නො වේ. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි තත් වූ පරිදි දනී. මෙසේ පුද්ගල පැසුනේ අමුවන් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ අඹපල පැසුනේ අමුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.