4. 3. 1. 3.
[කුම්භ සූත්‍රය]
3. මහණෙනි, මේ කුම්භයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ඇතුළත සිස් වූ පිටත පියු මුව ඇති එකෙක. ඇතුළත දිය පිරුණු නො පියු මුව ඇති එකෙක. ඇතුළත සිස් වූ නො පියූ මුව ඇති එකෙක. ඇතුළත දිය පිරුණු පියු මුව ඇති එකෙක. මේ සතර කුම්භයෝය.
මහණෙනි, එපරිදි ම මේ කුම්භොපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඇතුළත සිස් වූ පියු මුව ඇති එකෙක. ඇතුළත පිරුණු වළ කට ඇති එකෙක. ඇතුළත සිස් වූ වළ කට ඇති එකෙක. ඇතුළත පිරුණු පියු කට ඇති එකෙක.
මහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත හිස් වූයේ පියු මුව ඇතියේ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලකුගේ ඉදිරි යෑම, වටාලා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිග හැරීම, සඟළ පාසිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී “මේ දුක්ඛසමුදය”යි ... “මේ දුක්ඛනිරෝධය”යි ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා ය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත සිස් වූයේ පිටත පියු මුව ඇතියේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය ඇතුළත සිස් වූයේ පිටත පියු මුව ඇතියේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත වළ මුව ඇතියේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිග හැරීම, සඟළ පා සිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ නො වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ය”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත විවෘත වූයේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය ඇතුළත පිරුණේ පිටත විවෘත වූයේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත සිස් වූයේ පිටත විවෘත වූයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ නො වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත සිස් වූයේ පිටත විවෘත වූයේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය තෙමේ ඇතුළත හිස් වූයේ පිටත විවෘත වූයේ වේද, මහණෙනි, මම මේ පුද්ගල එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත පියු මුව ඇතියේ වේ ද, මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා ය”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත පියු මුව ඇතියේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය ඇතුළත පිරුණේ පිටත පියු මුව ඇතියේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ’යි කියමි.
මහණෙනි, මේ සතර වැදෑරුම් කුම්භොපම පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානය හ.