4. 3. 1. 2.
[දුතියවලාහක සූත්රය]
2. මහණෙනි, මේ වලාහකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ගිගිරි කරන්නේ වැසි නො කරන්නේය. වැසි නො කරන්නේ ගිගිරි කරන්නේය. ගිගිරි නො කරන්නේ වැසි ද නො කරන්නේය. ගිගිරි කරන්නේ වැසි ද කරන්නේයි. මහණෙනි, මේ සතර වලාහකයෝ ය.
මහණෙනි, එපරිදි ම මේ වලාහකූපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානය හ. කවර සතර දෙනෙක යත්:
ගිගිරි කරන්නේ වැසි නො කරන්නේය. වැසි කරන්නේ ගිගිරි නො කරන්නේය. ගිගිරි නො කරන්නේ ම වැසි ද නො කරන්නේය. ගිගිරි කරන්නේත් වැසි ද කරන්නේ යි.
මහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි කරන්නේ වැසි නො කරන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ” යි තත් වූ පරිදි නො දන්නේ ය. “මේ දුඃඛසමුදය” යි තත් වූ පරිදි නො දන්නේ ය. “මේ දුඃඛනිරෝධය” යි තත් වූ පරිදි නො දන්නේ ය. “මේ දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාය” යි තත් වූ පරිදි නො දන්නේ ය. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි කරන්නේ වැසි නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි වලාහක ගිගිරි කරන්නේ වැසි නො කරන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල වැසි කරන්නේ ගිගිරි නො කරන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නොහදාරනුයේ වෙයි. හෙතෙම “මේ දුකැ” යි තත් වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාය” යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල වැසි කරන්නේ ගිගිරි නො කරන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක වැසි කරන්නේ ගිගිරි නො කරන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේ ම වැසි නො කරන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නො හදාරයි. හේ “මේ දුකැ” යි තත් වූ පරිදි නො දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාය” යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේ ම වැසි ද නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගිගිරි නො කරන්නේ ම වැසි ද නො කරන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි කරන්නේත් වැසි කරන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ” යි තත් වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාය” යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි කරන්නේත් වැසි කරන්නේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගුගුරන්නේත් වස්නේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, මේ සතර වැදෑරුම් පුද්ගලයෝ ලෝකයෙහි විද්යමානයහ.
4. 3. 1. 3.
[කුම්භ සූත්රය]
3. මහණෙනි, මේ කුම්භයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ඇතුළත සිස් වූ පිටත පියු මුව ඇති එකෙක. ඇතුළත දිය පිරුණු නො පියු මුව ඇති එකෙක. ඇතුළත සිස් වූ නො පියූ මුව ඇති එකෙක. ඇතුළත දිය පිරුණු පියු මුව ඇති එකෙක. මේ සතර කුම්භයෝය.
මහණෙනි, එපරිදි ම මේ කුම්භොපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඇතුළත සිස් වූ පියු මුව ඇති එකෙක. ඇතුළත පිරුණු වළ කට ඇති එකෙක. ඇතුළත සිස් වූ වළ කට ඇති එකෙක. ඇතුළත පිරුණු පියු කට ඇති එකෙක.