4. 3. 1. 1.
[පඨමවලාහක සූත්‍රය]
1. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි’ යි භික්‍ෂූන් ඇමැතූ සේක. වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, මේ වලාහකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ගිගිරි ඇත්තේ නොවස්නේය. වස්නේ ගිගිරි නැත්තේය. ගිගිරි ද නැත්තේ වැසි ද නැත්තේ ය. ගිගිරි ද ඇත්තේ වැසි ද ඇත්තේ යි. මහණෙනි, මේ සතර වලාවෝ ය.
මහණෙනි, එපරිදි ම වලා බඳු මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ගිගිරි ඇත්තේ නොවස්නේය. වස්නේ ගිගිරි නැත්තේය. ගිගිරි ද නැත්තේ වැසි ද නැත්තේ ය. ගිගිරි ද ඇත්තේ වැසි ද ඇත්තේ යි.
මහණෙනි, කෙසේ පුද්ගල තෙමේ ගිගිරි ඇත්තේ නොවස්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් (මෙ ද මෙ ද කරමි යි) බණන්නේත් නො කරන්නේ ය. මහණෙනි, මෙසේ පුද්ගල ගුගුරනුයේ නො වස්නේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගිගිරි කරන්නේ නො වස්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල වර්‍ෂා කරන්නේ ගිගුරුම් නො කරන්නේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් (නො බැණ ම ඒ ඒ දැය) කරන්නේ වෙයි. බණන්නේ නො වෙයි. මහණෙනි, මෙ පරිදි පුද්ගල වර්‍ෂා කරන්නේ ගිගුරුම් නො කරන්නේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක වර්‍ෂා කරන්නේ ගිගිරි නො කරන්නේ වේ ද, මහණෙනි, මේ පුද්ගලයා මම එබඳු උපමා ඇති කොට කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේත්, වර්‍ෂා නො කරන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නො කියන්නේ ම නො කරන්නේත් වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේ ම වර්‍ෂා නො කරන්නේ ද වෙයි. මහණෙනි, යම් පරිදි වලාහක ගිගිරි නො කරන්නේ ම වර්‍ෂා නො කරන්නේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ගුගුරන්නේත් වස්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් බණන්නේත් කරන්නේත් වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ගුගුරන්නේත් වස්නේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගුගුරන්නේත් වස්නේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇති කොට කියමි.
මහණෙනි, මේ සතර වැදෑරුම් වලාහකූපම පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 1. 2.
[දුතියවලාහක සූත්‍රය]
2. මහණෙනි, මේ වලාහකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ගිගිරි කරන්නේ වැසි නො කරන්නේය. වැසි නො කරන්නේ ගිගිරි කරන්නේය. ගිගිරි නො කරන්නේ වැසි ද නො කරන්නේය. ගිගිරි කරන්නේ වැසි ද කරන්නේයි. මහණෙනි, මේ සතර වලාහකයෝ ය.
මහණෙනි, එපරිදි ම මේ වලාහකූපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක යත්:
ගිගිරි කරන්නේ වැසි නො කරන්නේය. වැසි කරන්නේ ගිගිරි නො කරන්නේය. ගිගිරි නො කරන්නේ ම වැසි ද නො කරන්නේය. ගිගිරි කරන්නේත් වැසි ද කරන්නේ යි.
මහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි කරන්නේ වැසි නො කරන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ” යි තත් වූ පරිදි නො දන්නේ ය. “මේ දුඃඛසමුදය” යි තත් වූ පරිදි නො දන්නේ ය. “මේ දුඃඛනිරෝධය” යි තත් වූ පරිදි නො දන්නේ ය. “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි තත් වූ පරිදි නො දන්නේ ය. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි කරන්නේ වැසි නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි වලාහක ගිගිරි කරන්නේ වැසි නො කරන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල වැසි කරන්නේ ගිගිරි නො කරන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නොහදාරනුයේ වෙයි. හෙතෙම “මේ දුකැ” යි තත් වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල වැසි කරන්නේ ගිගිරි නො කරන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක වැසි කරන්නේ ගිගිරි නො කරන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.