4. 2. 2. 8.
[දේවදත්ත සූත්රය]
18. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ දෙව්දතුන් (සඟුන් බිඳ) බැසගිය නොබෝකල් ඇතිවත් ම රජගහ නුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩ වෙසෙති. එසඳ භාග්යවතුන් වහන්සේ දෙව්දතුන් අරභයා භික්ෂූන් ඇමතූ සේක:
මහණෙනි, ආත්මවධය පිණිස දේවදත්තහට ලාභසත්කාර යශස් උදා විය. මහණෙනි, පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.
මහණෙනි, යම්සේ කෙසෙල් ආත්මවධය පිණිස ඵල දේ ද, පිරිහීම පිණිස ඵල දේ ද, මහණෙනි, එපරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.
මහණෙනි, යම්සේ හුණවනය ආත්මවධය පිණිස ඵල දේ ද, පරාභවය පිණිස ඵල දේ ද, මහණෙනි, එපරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.
මහණෙනි, යම්සේ රණහුණ ආත්මවධය පිණිස ඵල දේ ද, පරාභවය පිණිස ඵල දේ ද, මහණෙනි, එ පරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර යශස් උදා විය.
මහණෙනි, යම්සේ (වෙළබ කුසැ ගදුබුවාට දා) අශ්වතරිය ආත්මවධය පිණිස ගප් ගණී ද, මහණෙනි, එපරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.
52. යම්සේ ඵලය කෙහෙල නස්නේ ම වේ ද, ඵලය මහහුණ නස්නේ ම වේ ද, ඵලය රණහුණ නස්නේ ම වේද, ගබ වෙළබ නස්නේ ම වේ ද, එපරි සත්කාරය කුපුරිස් නසා.
4. 2. 2. 9.
[පධාන සූත්රය]
19. මහණෙනි, මේ ප්රධන් වීර්ය්යයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
සංවර ප්රධන් වීර්ය්යය, ප්රහාණ ප්රධන් වීර්ය්යය, භාවනා ප්රධන් වීර්ය්යය, අනුරක්ෂණා ප්රධන් වීර්ය්යයි.
මහණෙනි, සංවර ප්රධන් වීර්ය්යය කවරේය යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලමු අකුසල දහමුන් නූපදනා සඳහා ඡන්දය උපදවයි, ව්යායාම කෙරෙයි, වීර්ය්යාරම්භ කෙරෙයි, සිත තිර කොට ගණියි. මහණෙනි, මෙ සංවර ප්රධන් වීර්ය්ය යි කියනු ලැබේ.
මහණෙනි, ප්රහාණ ප්රධන් වීර්ය්යය නම් කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ලමු අකුසල දහමුන් දුරලනු සඳහා ඡන්දය උපදවයි, ව්යායාම කෙරෙයි, වීර්ය්යාරම්භ කෙරෙයි, සිත තිර කොට ගණියි. මහණෙනි, මේ ප්රහාණ ප්රධන් වීර්ය්ය යි කියනු ලැබේ.
මහණෙනි, භාවනා ප්රධන් වීර්ය්යය නම් කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නූපන් කුසල් දහමුන් උපදනා සඳහා ඡන්දය උපදවයි, ව්යායාම කෙරේ, වීර්ය්යාරම්භ කෙරෙයි, සිත තිර කොට ගණියි. මහණෙනි, මේ භාවනා ප්රධන් වීර්ය්ය යි කියනු ලැබේ.