4. 2. 2. 6.
සරාග (පුග්ගල) සූත්‍රය
16. මහණෙනි, මේ සතර පුඟුල් කෙනෙක් ලෝකයෙහි ඇත. කවර සතර කෙනෙක යත්: රාග සහිතය, ද්වේෂ සහිත ය, මෝහ සහිත ය, මාන සහිත යි.
මහණෙනි, මේ සතර පුඟුල්හු ලෝකයෙහි විද්‍යමානයහ.
45. රජනීය රූපාදියෙහි සංරක්ත වූ ප්‍රියරූපය අභිනන්‍දනය කරණ සුලු මෝහයෙන් අධම වූ එයින් බැඳුනු සත්ත්‍වෙයෝ භවබන්‍ධනය වඩත්.
46. අවිද්වත් ජනයෝ රාගයෙන් උපන්, ද්වේෂයෙන් උපන් මෝහයෙනු දු උපන් දුක්සහිත වූ මතුයෙහිත් දුක් වඩන අකුශලකර්‍ම කෙරෙත්.
47. අවිද්‍යායෙන් වටා ගත්, ප්‍රඥාචක්‍ෂුස් රහිත, එයින් ම අන්‍ධ වූ, පුරුෂයෝ රාගාදීන් තුබූ පරිදි ම එහි වැටුනාහු අපි මෙබඳු ස්වභාව ඇත්තම්හ යි නො සිතත් මය.
4. 2. 2. 7.
[අහි (මෙත්ත) සූත්‍රය]
17. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල සැවැත් නුවර එක්තරා මහණෙක් සර්‍පයකු විසින් දෂ්ටව කලුරිය කෙළේ වෙයි. එසඳ බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ:
වහන්ස, මේ සැවැත්නුවර අන්‍යතර භික්‍ෂුවෙක් සර්‍පදෂ්ට ව කාලක්‍රියා කෙළේය යනුයි.
මහණෙනි, ඒකාන්තයෙන් ඒ මහණ සතර අහිරාජකුල මෙත්සිතින් නො පැහැසීය. මහණෙනි, ඒ මහණ ඉදින් සතර අහිරාජකුල මෙත්සිතින් පැහැසී නම්, මහණෙනි, ඒ මහණ සපුහු විසින් දෂ්ට ව කලුරිය නො කරන්නේ ම ය. කවර අහිරාජකුල සතරෙක යත්:
විරූපක්ඛ අහිරාජකුලය, ඒරාපථ අහිරාජකුලය, ඡබ්‍යාපුත්ත අහිරාජකුලය, කණ්හාගෝතමක අහිරාජකුල යි.
මහණෙනි, ඒ මහණ ඒකාන්තයෙන් මේ සතර අහිරාජකුල මෙත්සිතින් නොපැහැසී. මහණෙනි, ඒ මහණ මේ සතර අහිරාජකුල මෙත්සිතින් පැහැසී නම්, මහණෙනි, ඒ මහණ සපුහු විසින් දෂ්ටව කලුරිය නො කරන්නේ ම ය.
මහණෙනි, මේ සතර අහිරාජකුල මෙත්සිතින් පහස්නට අනුදනිමි. තමාගේ ගුප්තිය පිණිසය, තමාගේ රකවල පිණිසය, තමාගේ පිරිත් පිණිස යි.
48. මාගේ මෛත්‍රිය විරූපක්ඛ අහිරාජ කුලයන් හා වේවා. මාගේ මෛත්‍රිය එරාපථ අහිරාජකුලයන් හා වේවා. මාගේ මෛත්‍රිය ඡබ්‍යාපුත්ත අහිරාජකුලයන් හා වේවා. මාගේ මෛත්‍රිය කණ්හාගෝතමක අහිරාජ කුලයන් හා වේවා.
49. මාගේ මෛත්‍රිය අපාදක සතුන් හා වේවා. මාගේ මෛත්‍රිය ද්විපාදක සතුන් හා වේවා. මාගේ මෛත්‍රිය චතුෂ්පාදක සතුන් හා වේවා. මාගේ මෛත්‍රිය බහුප්පාදක සතුන් හා වේවා.
50. අපාදක සතෙක් නහමක් මා පෙළාවා. ද්විපාදක සතෙක් නහමක් මා පෙළාවා. චතුෂ්පාදක සතෙක් නහමක් මා පෙළාවා. බහුප්පාදක සතෙක් නහමක් මා පෙළාවා.
51. සියලු සත්ත්‍වයෝ, සියලු ප්‍රාණයෝ, සියලු භූතයෝ යන හැම භද්‍ර දෑ දකිත්වා. කිසිවකු කරා අනිෂ්ටයක් නො එළඹේවා.
බුද්ධරත්නය ගුණවශයෙන් අප්‍රමාණ වෙයි. ධර්‍මරත්නය ගුණවශයෙන් අප්‍රමාණ වෙයි. සඞ්ඝරත්නය ගුණවශයෙන් අප්‍රමාණ වෙයි. අහිය, ගෝනුහුසුය, සියපාය, මකුළුය, ගෘහගෝධා (සුහුනු) ය, මීය යන සිරිංසපජාතීහු ගුණ විසින් ප්‍රමාණවත්හ. මා විසින් රකවල් කරණ ලදී. මා විසින් පිරිත් කරණ ලදී. භූතයෝ බැස යෙත්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාරකෙරෙමි. සත් සම්බුදුවරුනට නමස්කාර කෙරෙමි.
4. 2. 2. 8.
[දේවදත්ත සූත්‍රය]
18. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් (සඟුන් බිඳ) බැසගිය නොබෝකල් ඇතිවත් ම රජගහ නුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩ වෙසෙති. එසඳ භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් අරභයා භික්‍ෂූන් ඇමතූ සේක:
මහණෙනි, ආත්මවධය පිණිස දේවදත්තහට ලාභසත්කාර යශස් උදා විය. මහණෙනි, පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.