4. 2. 2. 4.
[නිරය සූත්‍රය]
14. මහණෙනි, කරුණු සතරෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් යම් සේ ද, එපරිදි නිරයෙහි නික්‍ෂිප්තය. කවර සතර කරුණෙන යත්:
පණිවා ඇත්තේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා ඇතියේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය.
40. ප්‍රාණවධය, අදත්තාදානය, මෘෂාවාදය හා පරදාර ගමනය දැයි සතර කරුණෙක් කියනු ලැබේ. පඬිහු ඒ නොපසසත්.
4. 2. 2. 5.
[රූප (ප්පමාණ) සූත්‍රය]
15. මහණෙනි, මේ සතර පුඟුල් කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
රූපය ප්‍රමාණ කොට ඇති රූපප්‍රසන්නය, ගුණඝෝෂය ප්‍රමාණ කොට ඇති ඝෝෂප්‍රසන්නය, රූක්‍ෂප්‍රතිපත්ති ප්‍රමාණ කොට ඇති රූක්‍ෂප්‍රසන්නය, ධර්‍මය ප්‍රමාණ කොට ඇති ධර්‍මප්‍රසන්න යි.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
41. යම් කෙනෙක් රූපයෙන් මැනගත්හු ද, යම් කෙනෙකුත් ඝෝෂප්‍රමාණයෙන් (පැහැදීම් විසින්) අනුගතවූහු ද, ඡන්‍දරාගවසයට වැටුනාහු, ඔහු ඒ අරී ජනයා නො හඳුනත්.
42. ආධ්‍යාත්මිකගුණය ද නො දනියි. බැහැරි පිළිවෙත් ද නො දකී. හාත්පසින් ඇවිරීම් ඇති ඒ අඥ තෙමේ ඒකාන්තයෙන් ඝෝෂප්‍රමාණයෙන් ගෙණ යනු ලැබේ.
43. ආධ්‍යාත්මික ගුණ ද නො දන්නේ ය. බැහැරි පිළිවෙත් දක්නේය. බාහිර සත්කාරඵල දක්නා සුලු හෙ ද ඝෝෂප්‍රමාණයෙන් ගෙණ යනු ලැබේ.
44. ආධ්‍යාත්මිකගුණ ද දන්නේය. බැහැරි පිළිවෙත් ද දක්නේය. ප්‍රකට විසින් දක්නා හේ ඝෝෂප්‍රමාණයෙන් ගෙණ යනු නො ලැබේ.
4. 2. 2. 6.
සරාග (පුග්ගල) සූත්‍රය
16. මහණෙනි, මේ සතර පුඟුල් කෙනෙක් ලෝකයෙහි ඇත. කවර සතර කෙනෙක යත්: රාග සහිතය, ද්වේෂ සහිත ය, මෝහ සහිත ය, මාන සහිත යි.
මහණෙනි, මේ සතර පුඟුල්හු ලෝකයෙහි විද්‍යමානයහ.
45. රජනීය රූපාදියෙහි සංරක්ත වූ ප්‍රියරූපය අභිනන්‍දනය කරණ සුලු මෝහයෙන් අධම වූ එයින් බැඳුනු සත්ත්‍වෙයෝ භවබන්‍ධනය වඩත්.
46. අවිද්වත් ජනයෝ රාගයෙන් උපන්, ද්වේෂයෙන් උපන් මෝහයෙනු දු උපන් දුක්සහිත වූ මතුයෙහිත් දුක් වඩන අකුශලකර්‍ම කෙරෙත්.
47. අවිද්‍යායෙන් වටා ගත්, ප්‍රඥාචක්‍ෂුස් රහිත, එයින් ම අන්‍ධ වූ, පුරුෂයෝ රාගාදීන් තුබූ පරිදි ම එහි වැටුනාහු අපි මෙබඳු ස්වභාව ඇත්තම්හ යි නො සිතත් මය.
4. 2. 2. 7.
[අහි (මෙත්ත) සූත්‍රය]
17. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල සැවැත් නුවර එක්තරා මහණෙක් සර්‍පයකු විසින් දෂ්ටව කලුරිය කෙළේ වෙයි. එසඳ බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ: