4. 2. 2. 2.
[අනණ සූත්රය]
12. එකල්හි අනාථපිණ්ඩික සිටු භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස් ව හුන් අනේපිඬු සිටුහට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ගෘහපතිය, කාමභෝගී ගිහීන් විසින් කලින් කල හේතුවිසින් ලැබිය යුතු මේ සුඛයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අස්තිසුඛය, භෝගසුඛය, අනණසුඛය, අනවද්ය සුඛ යි.
ගැහැවිය, අස්තිසුඛ නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්රයකුට උත්ථාන වීර්ය්යයෙන් ලැබූ බාහුබලයෙන් වඩා ගත් වගුළ සෝදියෙන් ඉපැයූ ධර්මයුක්ත වූ දැහැමින් ලත් භෝගයෝ ඇත. හෙතෙම උත්ථානවීර්ය්යයෙන් ලැබූ බාහුබලයෙන් වැඩූ හෙළු සෝදියෙන් ඉපැයූ ධර්මයුක්ත වූ ධර්මලබ්ධ වූ භෝගයෝ මට ඇතැ යි සුඛය ලබයි. සෞමනස්යය ලබයි. ගැහැවිය, මේ අස්තිසුඛය යි. කියනු ලැබේ.
ගැහැවිය, භෝගසුඛ නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්රයෙක් උත්ථාන වීර්ය්යයෙන් ලැබූ බාහුබලයෙන් වඩා ගත් වගුළ සෝදියෙන් උපයාගත් ධර්මයුක්ත වූ ධර්මලබ්ධ වූ භෝගයෙන් භෝගයන් වළද කරයි. පින් ද කරයි. උත්ථාන වීර්ය්යයෙන් ලැබූ බාහුබලයෙන් වඩාගත් වගුළ සෝදියෙන් ඉපැයූ ධාර්මික වූ ධර්මලබ්ධ වූ භෝගයෙන් හේ භෝගයන් ද වළඳමි යි පින් ද කෙරෙමි යි සුඛය විඳියි. සෞමනස්යය විඳියි. ගැහැවිය, මේ භෝගසුඛය යි කියනු ලැබේ.
ගැහැවිය, අනණසුඛය කවරේ ය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්රයෙක් කිසිවක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නො දරයි. හේ කිසිවක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නො දරමි යි සුඛය විඳියි. සෞමනස්යය ලබයි. ගැහැවිය, මේ අනණසුඛය යි කියනු ලැබේ.
ගැහැවිය, අනවද්යසුඛය නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව ආර්ය්යශ්රාවක අනවද්ය කායකර්මයෙන් සමන්වාගත වෙයි. අනවද්ය වාක්කර්මයෙන් සමන්වාගත වෙයි. අනවද්ය මනඃකර්මයෙන් සමන්වාගත වෙයි. අනවද්ය කායකර්මයෙන් සමන්වාගතයෙමි යි අනවද්ය වාක්කර්මයෙන් සමන්වාගතයෙමියි. අනවද්ය මනඃකර්මයෙන් සමන්වාගතයෙමි යි සුව විඳුනේය. සොම්නස් විඳුනේය. ගැහැවිය, මේ අනවද්යසුඛය යි කියනු ලැබේ.
ගැහැවිය, කාමභෝගී ගිහිහි විසින් කලින් කල පටන් ගෙණ මේ සතර සුඛයෝ අධිගන්තව්යයහ යි වදාළහ.
35. අනණසුඛය දැන වැලි අස්තිසුඛය සිහි කරන්නේය. භොග සුඛය වළඳනා මිනිස් තෙම ඉක්බිති නුවණින් වෙසෙසා බලන්නේය.
36. සුන්දර ප්රඥා ඇති ඒ මිනිසා වෙසෙසින් බලන්නේ ඒ සුව දෙ කොටස දනී. තෙල (පළමු කොටස වූ අස්තිසුඛාදී තුණ සතර වන කොටස වූ) අනවද්ය සුඛයාගේ සොළොස් වන කලාවට ද නො අගී.
4. 2. 2. 3.
[සබ්රහ්ම සූත්රය]
13. මහණෙනි, යම් පුත්ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහි දී පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ බ්රහ්ම සහිතයහ. මහණෙනි, යම් පුත්ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහි දී පූජිත වෙත් ද, ඒ කුලයෝ පූර්වාචාර්ය සහිතයහ. මහණෙනි, යම් පුත්ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහිදී පූජිත වෙත් ද, ඒ කුලයෝ පූර්වාදේවතා සහිතයහ. මහණෙනි, යම් පුත්ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහි දී පූජිත වෙත් ද, ඒ කුලයෝ ආහුනෙය්ය සහිතයහ.
මහණෙනි, මවුපියනට ‘බ්රහ්ම’ යන මේ නමෙකි. මහණෙනි, මවුපියනට ‘පූර්වාචාර්ය’ යන මේ නමෙකි. මහණෙනි, මවුපියනට ‘පූර්වදේව’ යන මේ නමෙකි. මහණෙනි, මවුපියනට ‘ආහුනෙය්ය’ යන නමෙකි. ඒ කවර හෙයින යත්:
මහණෙනි, මවුපියෝ පුතුනට (දරුවනට) බොහෝ උපකාර ඇතියහ. හදනුවහ, වඩනුවහ. මෙ ලොව දක්වනුවහ.
37-38. මවුපියෝ ‘බ්රහ්මයහ’ යි ද, ‘පූර්වාචාර්ය්යයහ’ යි ද කියනු ලැබෙත්. පුත්රයන්ගේ (ඇර දෙන්නට නිසි අන්නපාන ප්රතිග්රහණයට අර්හ වන බැවින්) ආහුනෙය්යහ. පුත්රාඛ්යප්රජාවට අනුකම්පා කරණුවහ. එයින් ඔවුන් නමදනේ ය. වැලිත් පණ්ඩිත පුත්ර තෙමේ අන්නපානයෙනුදු වස්ත්රශයනයෙනුදු ඇඟ ඉළීමෙනුදු නැහැවීමෙනුදු පා දෙවීමෙනුදු සත්කාර කරන්නේය.
39. මවුපියන් කෙරෙහි ලා කරණ ඒ වතාවතින් පඬිහු මෙ ලොව්හි ද ඔහු පසසත්. පරලොව ගොස් ස්වර්ගයෙහිදු (විපාක නන්දනායෙන්) සතුටු වෙයි.
4. 2. 2. 4.
[නිරය සූත්රය]
14. මහණෙනි, කරුණු සතරෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් යම් සේ ද, එපරිදි නිරයෙහි නික්ෂිප්තය. කවර සතර කරුණෙන යත්:
පණිවා ඇත්තේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා ඇතියේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි නික්ෂිප්ත ය.
40. ප්රාණවධය, අදත්තාදානය, මෘෂාවාදය හා පරදාර ගමනය දැයි සතර කරුණෙක් කියනු ලැබේ. පඬිහු ඒ නොපසසත්.