ගෙහෙවිය, ශ්‍රද්ධාසම්පදා නම් කවරය යත්: ගෙහෙවිය, මෙ ලොව අරීසවු සැදැහැ ඇත්තේ වෙයි. ‘මෙකරුණිනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තර පුරුෂදම්‍ය සාරථියහ, දෙවි මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත් හ’ යි තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බෝධිය හදහයි. ගෙහෙවිය, මේ ශ්‍රද්ධාසම්පදා යි කියනු ලැබේ.
ගැහැවිය, ශීලසම්පදා නම් කවරය යත්: ගැහැවිය, මෙ ලොව අරීසවු පණිවායෙන් දුරු වූයේ වෙයි. ... මද පමා දෙකට කරුණු වන රහමෙරින් දුරු වූයේ වෙයි. ගෙහෙවිය, මේ ශීලසම්පදා යි කියනු ලැබේ.
ගෙහෙවිය, ත්‍යාගසම්පදා නම් කවරය යත්: ගෙහෙවිය, මෙලොව අරීසවු පැහූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. වුහුටුවත්හි බැලුම් නැතියේ වෙයි. දෙන්නට දෙවි අත් ඇතියේ වෙයි. පීමෙහි ඇලුනේ වෙයි, යදනට නිසිවූයේ වෙයි, දීම් බෙදීම් දෙක්හි ඇලුනේ වේ. ගැහැවිය, මේ ත්‍යාගසම්පදා යි කියනු ලැබේ.
ගැහැවිය, ප්‍රඥාසම්පදා නම් කවරය යත්: ගැහැවිය, අභිධ්‍යාවිෂමලෝභයෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි, අකර්‍තව්‍යය කරණුයේ කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහේ. ගැහැවිය, ව්‍යාපාදයෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි. අකර්‍තව්‍යය කරණුයේ කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහෙයි. ගැහැවිය, සත්‍යානමිද්ධයෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි, අකර්‍තව්‍යය කරණුයේ, කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි, අකර්‍තව්‍යය කරණුයේ කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහෙයි. ගෙහෙවිය, විචිකිච්ඡායෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි, අකර්‍තව්‍යය කරණුයේ කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහෙයි.
ගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක ‘අභිධ්‍යාවිෂමලෝභය චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ අභිධ්‍යාවිෂමලෝභය හැර පියයි. ‘ව්‍යාපාදය චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ව්‍යාපාදය හැර පියයි. ‘ස්ත්‍යානමිද්ධය චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ස්ත්‍යානමිද්ධය හැර පියයි. ‘ඖද්ධත්‍යකුකෘත්‍යය චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ඖද්ධත්‍යකුකෘත්‍යය හැර පියයි. ‘විචිකිත්සා චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ විචිකිත්සාව හැර පියයි.
ගෙහෙවිය, යම් කලෙක සිට ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අභිධ්‍යාවිෂමලෝභය චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ අභිධ්‍යාවිෂමලෝභය ප්‍රහීණ වේ ද, ව්‍යාපාදය චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ව්‍යාපාදය ප්‍රහීණ වේ ද, ස්ත්‍යානමිද්ධය චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ස්ත්‍යානමිද්ධය ප්‍රහීණ වේ ද, ඖද්ධත්‍යකුකෘත්‍යය චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ඖද්ධත්‍යකුකෘත්‍යය ප්‍රහීණ වේ ද, විචිකිත්සාව චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ විචිකිත්සාව ප්‍රහීණ වේ ද, ගැහැවිය, මේ ආර්‍ය්‍යශ්‍රාවක මහාප්‍රාඥය යි ද පෘථුලප්‍රාඥය යි ද, ආපාථ දක්නේය යි ද ප්‍රඥාසම්පන්නය යි ද කියනු ලැබේ. ගෙහෙවිය, මේ ප්‍රඥාසම්පදා යි කියනු ලැබේ.
ගෙහෙවිය, ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්‍ලභ මේ සතර දමහුන්ගේ ප්‍රතිලාභයට මේ සතර දහම් කෙනෙක් ඇත.