4. 2. 1. 8.
[සුදත්ත (අනාථපිණ්ඩික) සූත්‍රය]
[සැවැත්නිදාන යි]
8. එක්බිති අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන් අනේපිඬු ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
ගැහැවිය, බොජුන් දෙන අරීසවු පිළිගාවනට සතර කරුණක් දෙයි. කවර සතර කරුණෙක යත්:
ආයුෂ දෙයි, වර්‍ණය දෙයි, සුඛය දෙයි, බලය දෙයි. ආයුෂ දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්‍ණය දී ... සුඛය දී ... බලය දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ බලයට හිමි වෙයි. ගැහැවියෙනි, බොජුන් දෙන අරීසවු පිළිගාවනට මේ සතර කරුණු දෙයි.
26. යමෙක් සංයත වූ පරා දුන් බොජුන් වළඳනවුනට නිසි කල්හි සකසා බොජුන් දේ ද, හේ ආයුෂය වර්‍ණය සුඛය බලය යි සතර කරුණු දෙයි.
27. ආයුදායක බලදායක සුඛදායක වර්‍ණදායක ඒ මිනිස් යම් යම් තැනෙක උපදනේ ද, එ හැමතැන දීර්‍ඝායුෂ්ක වෙයි. මහාපරිවාර ද වෙයි.
4. 2. 1. 9.
[භෝජනදායක සූත්‍රය]
9. මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට සතර කරුණක් දෙයි. කවර සතර කරුණෙක යත්:
ආයුෂ දෙයි, වර්‍ණය දෙයි, සුඛය දෙයි, බලය දෙයි. ආයුෂ දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්‍ණය දී ... සුඛය දී ... බලය දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ බලයට හිමි වෙයි. මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට මේ සතර කරුණු දෙයි.
28. යමෙක් සංයත වූ පරා දුන් බොජුන් වළඳනවුනට නිසි කල්හි සකසා බොජුන් දේ ද, හේ ආයුෂය, වර්‍ණය, සුඛය, බලය යි සතර කරුණු දෙයි.
29. ආයුදායක, බලදායක, සුඛදායක, වර්‍ණදායක ඒ මිනිස් යම් යම් තැනක උපදනේ ද, එ හැම තැන දීර්‍ඝායුෂ්ක වෙයි. මහාපරිවාර ද වෙයි.
4. 2. 1. 10.
[ගිහිසාමීචිපටිපදා සූත්‍රය]
10. එක්බිති අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් අනේපිඬු ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
ගැහැවියෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක යශස් ප්‍රතිලාභයට හේතු වූ ස්වර්‍ගය පිණිස පවත්නා ගිහීසාමීචිපටිපදාවට පිළිපන්නේ වෙයි. කවර සතර කරුණෙකින යත්:
ගැහැවියෙනි, මෙලොව ආර්‍ය්‍යශ්‍රාවකයෙක් සිවුරෙන් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. පිඬුවායෙන් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. සෙනසුනින් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකරින් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි.
ගැහැවියෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක යශස් ගෙණ දෙන ස්වර්‍ගය පිණිස පවත්නා ගිහීසාමිචි ප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි.
30. සම්‍යග්ගත සිල්වත් පිළිගාවන් සිවුරින් පිඬුවායෙන් යහනින් ගිලන්පසින් උපස්ථාන කරණ පණ්ඩිත ගිහියෝ ගිහීසාමීචි පිළිවෙත පිළිපදිත්.
31. ඔවුනට දවරෑ දෙක්හි හැමදින පින් වැඩෙයි. කල්‍යාණකර්‍ම කොට ස්වර්‍ගයට යෙයි.
පුණ්‍යාභිසන්‍දවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
පුණ්‍යාභිසන්‍ද දෙකය, සංවාස දෙකය, සමජීවී දෙකය, සුප්පාවාසය, සුදත්තය, භෝජනය, ගිහීසාමීචිය යි සූත්‍ර දශයෙකි.