4. 2. 1. 2.
[දුතිය පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය]
2. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩනා පිණිස, හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ සතර පුණ්‍යප්‍රවාහ කෙනෙකි. කුශලප්‍රවාහ කෙනෙකි. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ඒ භගවත්හු මේ කරුණෙනුදු අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විද්‍යාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්‍යසාරථියහ. දෙවිමිනිස්නට ශාස්තෘයහ. සිවුසස් දත්හ. රාගාදීන් භග්න හෙයින් භගවත්හ යි කියා යි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ පළමු වන පුණ්‍යප්‍රවාහය. කුශලප්‍රවාහ යි.
තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක ධර්‍මයෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සාන්දෘෂ්ටිකය, අකාලිකය, එව බලව යන විධියට අර්‍හය, උපනයනාර්‍හය, නුවණැතියන් විසින් තමා කෙරෙහි ලා දතයුතුය කියා යි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස, හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ දෙවන පුණ්‍යප්‍රවාහය. කුශලප්‍රවාහ යි.
තවද මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක සඞ්ඝයා කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. භගවත්හුගේ ශ්‍රාවකසඞ්ඝ සුප්‍රතිපන්නය, භගවත්හුගේ ශ්‍රාවකසඞ්ඝ ඍජුප්‍රතිපන්නය, භගවත්හුගේ ශ්‍රාවකසඞ්ඝ න්‍යායප්‍රතිපන්නය, භගවත්හුගේ ශ්‍රාවකසඞ්ඝ සාමීචි ප්‍රතිපන්නය. යම් සතර වැදෑරුම් පුරුෂ යුග කෙනෙක්, අෂ්ටපුරුෂ පුද්ගල කෙනෙක් ඇද්ද භගවත්හුගේ තෙල සවුසඟහු ඇර දෙන්නට නිසි අන්නපානප්‍රතිග්‍රහණයට නිසියහ, ආගන්තුක සත්කාරයට නිසිය හ, දක්‍ෂිණා ප්‍රතිග්‍රහණයට නිසියහ, ඇඳිලි බඳනට නිසියහ. ලෝකයාහට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍රයහ කියා යි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛ විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මන වඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ තුන්වන පුණ්‍යප්‍රවාහය, කුශල ප්‍රවාහ යි.
තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ විද්වත්ප්‍රශස්ත වූ අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මන වඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ සතරවැනි පුණ්‍යප්‍රවාහය, කුශල ප්‍රවාහ යි.
මහණෙනි, සුව එළවන, ස්වග්‍රරූපාදි සම්පත් ගෙණ දෙන, සුඛ විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස, සුඛය පිණිස පවත්නා, මේ සතර වැදෑරුම් පුණ්‍යධාරාය, කුශලධාරා යි.
3. යමක් හට තථාගතයන් වහන්සේ කෙරෙහි අචල වූ මොනවට පිහිටි සැදැහැ ඇද්ද, යමක් හට මාර්‍ගඵල සම්ප්‍රයුක්ත හෙයින් ආර්‍ය්‍යකාන්ත වූ එහෙයින් ම පසස්නා ලද කල්‍යාණ ශීලය ඇද්ද,
4. යමක් හට සඞ්ඝයා කෙරෙහි ප්‍රසාදය ඇද්ද, ඍජු වූ ධර්‍මදර්‍ශනය ඇද්ද, ඔහු නො දිළින්දහ යි කියත්. ඔහුගේ ජීවිතය අමෝඝ යි.
5. එහෙයින් බුදුරදුන්ගේ අනුශාසනය සිහි කරණ ප්‍රශස්ත බුද්ධි ඇතියා සැදෑය, සිල්ය, පැහැදීම්ය, දහම්දස්නය යන මෙහි යෙදෙන්නේ ය.
4. 2. 1. 3.
[පඨම සංවාස සූත්‍රය]
3. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මධුරා-වේරඤ්ජා දෙ පියෙස අතර අදන්මගට පිළිපන් සේක. බොහෝ ගෘහපතීහු ද ගෘහපති භාර්‍ය්‍යාවෝ ද, මධුරා-වේරඤ්ජා දෙපියෙස අතර අදන්මගට පිළිපන් හ. එක්බිති භාග්‍යවතුන් වහන්සේ මගින් ඉක්ම එක්තරා රුක්මුලෙක වැඩහුන්හ. ඒ ගැහැවියෝ ද ගැහැවි දූහු ද එක්තරා රුක්මුලෙක වැඩහුන් බුදුන් දුටහ. දැක බුදුන් වෙත එළඹිය හ. එළඹ බුදුන් සකසා වැඳ එකත්පස්ව හුන් හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස්ව හුන් ඒ ගැහැවියනුදු ගැහැවි දූනුදු බණවා තෙල වදාළහ.
ගැහැවියෙනි, මේ සතර සහවාස කෙනෙකි. කවර සතර කෙනෙක යත්:
(ගුණ නැතියෙන්) ලමු වූයේ (ගුණ නැතියෙන්) ලමු වූවක හා සමග වෙසෙයි. ලමු වූයේ (ගුණ සැපතින්) දෙවු දුවක හා සමග වෙසෙයි. (ගුණ සැපතින්) දෙවි වූයේ ලමු වූවක හා සමග වෙසෙයි. දෙවි වූයේ දෙව්දුවක හා සමග වෙසෙයි.