4. 2. 1. 10.
[ගිහිසාමීචිපටිපදා සූත්රය]
10. එක්බිති අනේපිඬු ගැහැවි භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් අනේපිඬු ගැහැවිහට භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ.
ගැහැවියෙනි, සතර කරුණෙකින් සමන්වාගත ආර්ය්යශ්රාවක යශස් ප්රතිලාභයට හේතු වූ ස්වර්ගය පිණිස පවත්නා ගිහීසාමීචිපටිපදාවට පිළිපන්නේ වෙයි. කවර සතර කරුණෙකින යත්:
ගැහැවියෙනි, මෙලොව ආර්ය්යශ්රාවකයෙක් සිවුරෙන් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. පිඬුවායෙන් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. සෙනසුනින් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකරින් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි.
ගැහැවියෙනි, මේ සතර කරුණින් සමන්වාගත ආර්ය්යශ්රාවක යශස් ගෙණ දෙන ස්වර්ගය පිණිස පවත්නා ගිහීසාමිචි ප්රතිපත්තියට පිළිපන්නේ වෙයි.
30. සම්යග්ගත සිල්වත් පිළිගාවන් සිවුරින් පිඬුවායෙන් යහනින් ගිලන්පසින් උපස්ථාන කරණ පණ්ඩිත ගිහියෝ ගිහීසාමීචි පිළිවෙත පිළිපදිත්.
31. ඔවුනට දවරෑ දෙක්හි හැමදින පින් වැඩෙයි. කල්යාණකර්ම කොට ස්වර්ගයට යෙයි.
පුණ්යාභිසන්දවර්ගය පළමුවැනි යි.
එහි උද්දානය:
පුණ්යාභිසන්ද දෙකය, සංවාස දෙකය, සමජීවී දෙකය, සුප්පාවාසය, සුදත්තය, භෝජනය, ගිහීසාමීචිය යි සූත්ර දශයෙකි.
2. පත්තකම්ම වර්ගය
4. 2. 2. 1.
[පත්තකම්ම සූත්රය]
[සැවැත්නිදාන යි]
11. එකල්හි අනේපිඬු ගැහැවි භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් අනේපිඬුසිටුහට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ගැහැවිය, ලෝකයෙහි ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ මේ සතර දහම්හු ය. කවර සතර දහම්හුය යත්:
‘මට භෝගසම්පත්හු දහම් නො බිඳ ගෙණ උදාවෙත්ව’ යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්ලභ මේ පළමුවන දහම ය.
‘දහම් නො බිඳ ගෙණ භොග සම්පත් ලැබ නෑයන් නො හැර සංදෘෂ්ට, සම්භක්තයන් නො හැර මාගේ පිරිවර සැපත් නැගේව’යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්ලභ මේ දෙවන දහම ය.
‘දහම් නො බිඳ භෝගයන් ලැබ නෑයන් නොහැර සංදෘෂ්ට සම්භක්තයන් නො හැර පිරිවර සැපත් ලැබ කලක් ජීවත් වෙම්ව යි - දීර්ඝායුෂ රැකගණිම්ව’ යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්ලභ මේ තෙවන දහම ය.
‘දහම් නො බිඳ භෝගයන් ලැබ නෑයන් නො හැර සංදෘෂ්ට සම්භක්තයන් නො හැර පිරිවර සැපත් ලැබ කලක් ජීවත් ව දීර්ඝායුෂ රැක ගෙණ කාබුන් මරණින් මත්තෙහි සුගති සංඛ්යාත ස්වර්ගලෝකයට එළඹෙම් ව’ යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්ලභ මේ සතර වන දහම ය.
ගැහැවිය, ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්ලභ මේ සතර දහම්හු යි.
ගෙහෙවිය, ඉෂ්ට, කාන්ත, මනාප ලෝකයෙහි දුර්ලභ මේ සතර ධර්මයන්ගේ ප්රතිලාභය පිණිස සතර දහම් කෙනෙක් ඇත. කවර සතර කෙනෙක යත්:
ශ්රද්ධාසම්පදා ය, ශීලසම්පදා ය, ත්යාගසම්පදා ය, ප්රඥාසම්පදා යි.
ගෙහෙවිය, ශ්රද්ධාසම්පදා නම් කවරය යත්: ගෙහෙවිය, මෙ ලොව අරීසවු සැදැහැ ඇත්තේ වෙයි. ‘මෙකරුණිනුදු ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්හ, සම්යක් සම්බුද්ධයහ, විද්යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තර පුරුෂදම්ය සාරථියහ, දෙවි මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත් හ’ යි තථාගතයන් වහන්සේගේ සම්යක් සම්බෝධිය හදහයි. ගෙහෙවිය, මේ ශ්රද්ධාසම්පදා යි කියනු ලැබේ.
ගැහැවිය, ශීලසම්පදා නම් කවරය යත්: ගැහැවිය, මෙ ලොව අරීසවු පණිවායෙන් දුරු වූයේ වෙයි. ... මද පමා දෙකට කරුණු වන රහමෙරින් දුරු වූයේ වෙයි. ගෙහෙවිය, මේ ශීලසම්පදා යි කියනු ලැබේ.