4. 1. 5. 4.
[දුතිය කෝධගරු සූත්‍රය]
44. මහණෙනි, මේ අසද්ධර්‍මයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
ක්‍රෝධයෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත. ගුණ මැකීමෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත. ලාභයෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත. සත්කාරයෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත.
මහණෙනි, මේ සතර අසද්ධර්‍මයෝය.
මහණෙනි, මේ සද්ධර්‍මයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, ක්‍රෝධයෙහි සගෞරව බව නැත. සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, මකුගුණෙහි සගෞරව බව නැත. සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, ලාභයෙහි සගෞරව බව නැත. සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, සත්කාරයෙහි සගෞරව බව නැත.
මහණෙනි, මේ සතර සද්ධර්‍මයෝය.
111. ලාභසත්කාරයෙහි ගෞරවය ඇති ක්‍රෝධයෙහි හා ගුණමකු බවෙහි ගෞරවය ඇති මහණෙක් වේ ද, මනා කෙතෙක පූතිබීජයක් මෙන් සද්ධර්‍මශාසනයෙහි නො වැඩෙයි.
112. සද්ධර්‍මය ගරු කොට ඇති යම් පැවිදි කෙනෙක් පෙර විසූහු ද, දැන් වෙසෙත් ද, ඒකාන්තයෙන් ඔහු ඖෂධජාතීහු පෘථිවීස්නේහය ලැබ වැඩෙත් ද, එපරිද්දෙන් සද්ධර්‍මයෙහි වැඩෙත්.
4. 1. 5. 5.
[පඨම රෝහිතස්ස සූත්‍රය]
45. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එක්බිති රෝහිතස්ස දෙව්පුත් රෑ බෙහෙවින් ඉක්ම ගිය කල්හි මනහර වර්‍ණයෙන් මුළු ජේතවනය එකලු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි රෝහිතස්ස දෙවිපිත් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරන්නේ ද, නො මියන්නේ ද, නො සැවෙන්නේ ද, අපරාපර ප්‍රතිසන්‍ධි වශයෙන් නූපදනේ ද, වහන්ස, පියගමනින් ඒ ලෝකයාගේ කෙළවර දක්නට වේවයි දන්නට වේවයි, පැමිණෙන්නට වේවයි හැකි වේ ද?
ඇවත, යම් ම තැනෙක නූපදනේ ද නො දිරන්නේ ද නො මියන්නේ ද නො සැවෙන්නේ ද (අපරාපර ප්‍රතිසන්‍ධි විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ ඒ කෙළවර දතයුතු ය යි හෝ දැක්කයුතු යයි හෝ පැමිණිය යුතු ය යි හෝ නො කියමි.
වහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ බස යාවත් සුභාෂිතය. (අත්‍යර්‍ත්‍ථයෙන් සුභාෂිතය) ඇවත, ‘යම් ම තැනෙක නූපදනේ ද නො දිරනේ ද නොමියනේ ද නො සැවනේ ද (අපරාපර ප්‍රතිසන්‍ධි විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ ඒ කෙළවර දතයුතු ය යි හෝ දැක්ක යුතු ය යි හෝ පැමිණිය යුතුය යි හෝ නොකියමි” යනුයි.
වහන්ස, පෙර වූ දැයක් කියමි: මම භෝජපුත්‍ර වූ රෝහිතස්ස නම් ඉදුහ ඇති ආකාශචාරී ඍෂියෙකිම් වීමි. වහන්ස, ඒ මට මෙබඳු ජවයෙක් විය. දොළොස් වසක් තුළ දුනුකම්හි ශික්‍ෂිත, කෘතහස්ත, කළ උපාසනා ඇති, දෘඪධන්‍වන් වූ, ධනුර්‍ධරයෙක් ලඝුශරයෙකින් නිදුක් සේ තල්සෙය සරස විද පියා ඉක්මවා ද, එබඳු ජව ය යි.
පෙරදිග මුහුදින් පැළදිග මුහුද යම් පරිදි දුර වේ ද, එපරිදි දුර වූ පාදව්‍යතීහාරයෙක් (පියමාරු කිරීමක්) වීය.
වහන්ස, මෙබඳු ජවයෙන් සමන්‍වාගත, මෙබඳු පාදව්‍යතීහාරයෙන් යුත් ඒ මට මෙබඳු ඉච්ඡායෙක් උපන: ‘මම පියගමනින් ලෝකයාගේ අන්තයට පැමිණෙමි’ යනුයි.
වහන්ස, ඒ මම බිදීම් පීම් කෑම් ලෙවීම් හැර මල මූකිස හැර, නිද්‍රාක්ලමථු විනෝදනා හැර වර්‍ෂශතායුෂ්ක වූයෙම් වර්‍ෂශතජීවී වූයෙම් සියක් හවුරුදු ගොස් ලෝකාන්තයට නො පැමිණ ම අතර ම කලුරිය කෙළෙමි.
වහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස යාවත් සුභාෂිතය, ‘ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද නො මියනේ ද නො සැවනේ ද (අපරාපර ප්‍රතිසන්‍ධි විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ ඒ කෙළවර දතයුතුය යි හෝ දැක්ක යුතුය යි හෝ පැමිණිය යුතුය යි හෝ නො කියමි’ යනුයි.
ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද නො සැවනේ ද (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, පියගමනින් ලෝකයාගේ ඒ අන්තය දත යුතුය යි, දැක්ක යුතුය යි, පැමිණිය යුතුය යි නො කියමි. ඇවැත්නි, මම සංස්කාර ලෝකයාගේ අන්තයට නො පැමිණ ම දුඃඛයාගේ කෙළවර කිරීම ද නො කියමි. ඇවැත්නි, වැලිත් මම සසංඥ වූ සචිත්තක වූ ව්‍යාමමාත්‍ර වූ මේ ආත්මභාවයෙහි ම දුඃඛසත්‍යය ද සමුදයසත්‍යය ද නිරෝධසත්‍යය ද නිරොධගාමිනී ප්‍රතිපත්තිය ද පණවමි.