4. 1. 5. 2.
[පඤ්හබ්යාකරණ සූත්රය]
42. මහණෙනි, මේ ප්රශ්නව්යාකරණයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, ඒකාන්තයෙන් විසඳියයුතු ප්රශ්නයෙක් ඇත. මහණෙනි, බෙදා විසඳිය යුතු ප්රශ්නයෙක් ඇත. මහණෙනි, පිළිවිස විසඳිය යුතු ප්රශ්නයෙක් ඇත. මහණෙනි, තබාලිය යුතු ප්රශ්නයෙක් ඇත.
මහණෙනි, මේ සතර ප්රශ්නව්යාකරණයෝ යි.
105. එක් පැණෙක් ඒකාන්තවචන යි. අනෙක විභජ්යවචන යි. තෙවැන්න පුළුවුස්නේ ය. සිවුවැන්න තබන්නේය.
106. යමෙක් ඒ ප්රශ්නයන් අතුරෙන් ඒ ඒ තැන අනුධර්මතා සඞ්ඛ්යාත විසඳීම දන්නේ ද, එබඳු මහණ සතර පැණ පිළිබඳව දක්ෂයෙකැයි කියත්.
107. නොලංවියහෙන, නොමැඩලියහෙන, ගැඹුරු නොමුදවාලියහෙන වැලිත් දෙවැදෑරුම් අර්ත්ථානර්ත්ථයෙහි දක්ෂ වූ,
108. පණ්ඩිත මහණ අනර්ත්ථය හරණේ ය. අර්ත්ථය ගන්නේ ය. අර්ත්ථ සමාගමයෙන් ධීර වූ ඒ මහණ පණ්ඩිතය යි කියනු ලැබේ.
4. 1. 5. 3.
[පඨම කෝධගරු සූත්රය]
43. මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්යමානයහ. කවර සතර කෙනෙක යත්:
සද්ධර්මගරුක නොවන ක්රෝධගරුකය, සද්ධර්මගරුක නොවන මක්ඛගරුකය, සද්ධර්මගරුක නොවන ලාභගරුකය, සද්ධර්මගරුක නොවන සත්කාරගරුක යි.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්යමානයහ.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්යමානයහ. කවර සතර කෙනෙක යත්:
ක්රෝධගරුක නොවන සද්ධර්මගරුකය, මක්ඛගරුක නොවන සද්ධර්මගරුකය, ලාභගරුක නොවන සද්ධර්මගරුකය, සත්කාරගරුක නොවන සද්ධර්මගරුක යි.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්යමානයහ.
109. ලාභසත්කාර කෙරෙහි ගෞරව ඇති ක්රෝධය හා ගුණමකු බව ගරු කොට ඇති මහණ කෙනෙක් ඇද්ද, ඔහු සම්මාසම්බුදුරජුන් දෙසූ සද්ධර්මයෙහි නො වැඩෙත්.
110. සද්ධර්මගරුක වූ යම් භික්ෂු කෙනෙක් පෙර විසූහු ද, දැන් වෙසෙත් ද, ඔහු ඒකාන්තයෙන් සම්මාසම්බුදුන් දෙසූ දහමෙහි වැඩෙත්.
4. 1. 5. 4.
[දුතිය කෝධගරු සූත්රය]
44. මහණෙනි, මේ අසද්ධර්මයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
ක්රෝධයෙහි සගෞරව බව ඇත, සද්ධර්මයෙහි සගෞරව බව නැත. ගුණ මැකීමෙහි සගෞරව බව ඇත, සද්ධර්මයෙහි සගෞරව බව නැත. ලාභයෙහි සගෞරව බව ඇත, සද්ධර්මයෙහි සගෞරව බව නැත. සත්කාරයෙහි සගෞරව බව ඇත, සද්ධර්මයෙහි සගෞරව බව නැත.
මහණෙනි, මේ සතර අසද්ධර්මයෝය.
මහණෙනි, මේ සද්ධර්මයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
සද්ධර්මයෙහි සගෞරව බව ඇත, ක්රෝධයෙහි සගෞරව බව නැත. සද්ධර්මයෙහි සගෞරව බව ඇත, මකුගුණෙහි සගෞරව බව නැත. සද්ධර්මයෙහි සගෞරව බව ඇත, ලාභයෙහි සගෞරව බව නැත. සද්ධර්මයෙහි සගෞරව බව ඇත, සත්කාරයෙහි සගෞරව බව නැත.
මහණෙනි, මේ සතර සද්ධර්මයෝය.
111. ලාභසත්කාරයෙහි ගෞරවය ඇති ක්රෝධයෙහි හා ගුණමකු බවෙහි ගෞරවය ඇති මහණෙක් වේ ද, මනා කෙතෙක පූතිබීජයක් මෙන් සද්ධර්මශාසනයෙහි නො වැඩෙයි.
112. සද්ධර්මය ගරු කොට ඇති යම් පැවිදි කෙනෙක් පෙර විසූහු ද, දැන් වෙසෙත් ද, ඒකාන්තයෙන් ඔහු ඖෂධජාතීහු පෘථිවීස්නේහය ලැබ වැඩෙත් ද, එපරිද්දෙන් සද්ධර්මයෙහි වැඩෙත්.
4. 1. 5. 5.
[පඨම රෝහිතස්ස සූත්රය]
45. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එක්බිති රෝහිතස්ස දෙව්පුත් රෑ බෙහෙවින් ඉක්ම ගිය කල්හි මනහර වර්ණයෙන් මුළු ජේතවනය එකලු කොට භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි රෝහිතස්ස දෙවිපිත් භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: