4. 1. 4. 9.
[උජ්ජාය සූත්‍රය]
39. ඉක්බිති උජ්ජාය නම් බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. තුස්නට නිසි (කලක්) සිහි කරනට නිසි කථාව කොට නිමවා එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් උජ්ජාය නම් බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කෙළේය.
භවත් ගෞතමයන් වහන්සේ ද යාගය වණත් හො යි?
බමුණ, මම හැම යාග නො වණමි. බමුණ, මම හැම යාග නො වණනෙම් නො ද වෙමි. බමුණ, යම් බඳු යාගයෙකදී ගෙරිහු නැසෙද් ද, එළු බැටළුවෝ නැසෙද් ද, කුකුළු හූරහු නැසෙද් ද, විවිධ ප්‍රාණීහු මරණයට පැමිණෙද් ද, බමුණ, මම මෙබඳු ප්‍රාණවධ (සමාරම්භ) සහගත යාගය නො වණමි. ඒ කවර හෙයින යත්? බමුණ, මෙබඳු සාරම්භයාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ නො එළඹෙත් ද, එහෙයිනි.
බමුණ, යම්බඳු යාගයෙකදී ගෙරිහු නො නැසෙද් ද, එළු බැටළුවෝ නො නැසෙද් ද, කුකුළු හූරහු නො නැසෙද් ද, විවිධ ප්‍රාණීහු විනාශයට නො යෙද් ද, බමුණ, මම මෙබඳු හිංසාරහිත යාගය වණමි. යම් නිත්‍යදානයෙක් කුලපිළිවෙළින් එන දානයෙක් ඇද් ද, එයයි. එය කවර හෙයින යත්? බමුණ, මෙබඳු හිංසා රහිත යාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ එළඹෙති.
94. අස්සමේධය, පුරිසමෙධය, සම්මාපාසය, වාජපෙය්‍යය, නිරග්ගලය, යන ප්‍රාණවධ සඞ්ඛ්‍යාත මහාරම්භ ඇති, මහායාගයෝ ඇත් ද, ඔහු මහත් ඵල නො වෙති.
95. යම් යාගයෙක එළු බැටළුවෝ ද ගෙරිහු දැ යි විවිධ ප්‍රාණීහු නැසෙද් ද ඒ යාගය කරා සම්‍යග්ගත මහර්ෂීහු නො එළඹෙත්.
96. කුලපිළිවෙළින් එන ප්‍රාණසමාරම්භ රහිත යම් යාගයක් හැමකල්හි යාග කෙරෙත් ද, එළුබැටළුවෝ වෙත්වයි, ගෙරිහු වෙත්වයි, විවිධ ප්‍රාණීහු මෙහි ලා නො නැසෙද් ද,
97. ඒ යාගය කරා සම්‍යග්ගත මහර්ෂීහු එළඹෙත්. නුවණැතියේ තෙල යාගය යාග කරන්නේය. තෙල යාගය මහත් ඵලයි.
98. තෙල යාගය කරන්නාහට විශේෂයෙක් ම වේ. පාපයෙක් නො වේ. යාගය විපුල වේ. දෙවියෝ ද පහදිති.
4. 1. 4. 10.
[උදායී සූත්‍රය]
40. ඉක්බිති උදායි නම් බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග ..... එකත්පස්ව හුන් උදායී බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය.
භවත් ගෞතමයන් වහන්සේ ද යාග වණත් හො යි?
බමුණ, මම හැම යාග නො වණමි. බමුණ, මම හැම යාග නො වණනෙම් නො ද වෙමි. බමුණ, යම්බඳු යාගයෙකදී ගෙරිහු නැසෙද් ද, එළු බැටළුවෝ නැසෙද් ද, කුකුළු හූරහු නැසෙද් ද, විවිධ ප්‍රාණීහු මරණයට පැමිණෙද් ද, බමුණ, මම මෙබඳු ප්‍රාණවධ සඞ්ඛ්‍යාත මහකරණී ඇති යාගය නො වණමි. ඒ කවර හෙයින යත්? බමුණ, මෙබඳු සාරම්භයාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ නො එළඹෙත් ද, එහෙයිනි.
බමුණ, යම් බඳු යාගයෙකදී ගෙරිහු නො නැසෙද් ද, එළු බැටළුවෝ නො නැසෙද් ද, කුකුළු හූරහු නො නැසෙද් ද, විවිධ ප්‍රාණීහු විනාශයට නො යෙද් ද, බමුණ, මම මෙබඳු නිරාරම්භ යාගය වණමි. යම් නිත්‍යදානයෙක් කුලපිළිවෙළින් එන දානයෙක් ඇද් ද, එයයි. එය කවර හෙයින යත්? බමුණ, මෙබඳු නිරාරම්භ යාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ එළඹෙති.
99. රැස් කළ, ප්‍රාණසමාරම්භ රහිත, කැප වූ, එබඳු දේයධර්‍මයට නිසි කාලයෙහි සංයත වූ බ්‍රහ්මචාරීහු එළඹෙති.
100. ලෝකයෙහි කෙලෙස් සියන් පෙරළු වටකුල වටගති ඉක්ම ගිය පුණ්‍යයෙහි කෝවිද වූ යම් බුදු කෙනෙක් ඇද්ද, ඔහු තෙල යාගය පසසත්.
101. ප්‍රකෘතිදානයෙහි හෝ නොහොත් ශ්‍රාද්ධදාන (=මතකදාන) යෙහි නිසි පරිදි (හෝම) පූජා කොට බ්‍රහ්මචාරී සඞ්ඛ්‍යාත මනා කෙතෙහි පහන් සිත් ඇතිව යාග කරන්නේ ය.
102. දක්‍ෂිණාර්‍හයන් කෙරෙහි යමක් කරණ ලද ද, ඒ මොනොවට කළ පූජාවෙකි. මොනොවට කළ මඞ්ගලදානයෙකි. මොනොවට ලත් දැයෙකි. යාගත් විපුල වෙයි. දෙවියෝත් පහදිති.
103. මනා නුවණ ඇති සැදැහැතියේ මුත්සිතින් මෙසේ යාග කොට ඒ පණ්ඩිත තෙම නිදුක් වූ සුඛ සහිත ලෝකයට එළඹෙයි.
චක්කවර්‍ගය සතරවැනි යි.
එහි උද්දානය:
චක්ක, සඞ්ග්‍රහ, සීහ, පසාද, පස්වන වස්සකාර සූත්‍රය ද, දොණ-ලෝක, අපරිහානිය, පතිලීන, උජ්ජාය, උදායී දැ යි ඒ දස සූත්‍රයෝ වෙති.