4. 1. 4. 10.
[උදායී සූත්‍රය]
40. ඉක්බිති උදායි නම් බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග ..... එකත්පස්ව හුන් උදායී බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය.
භවත් ගෞතමයන් වහන්සේ ද යාග වණත් හො යි?
බමුණ, මම හැම යාග නො වණමි. බමුණ, මම හැම යාග නො වණනෙම් නො ද වෙමි. බමුණ, යම්බඳු යාගයෙකදී ගෙරිහු නැසෙද් ද, එළු බැටළුවෝ නැසෙද් ද, කුකුළු හූරහු නැසෙද් ද, විවිධ ප්‍රාණීහු මරණයට පැමිණෙද් ද, බමුණ, මම මෙබඳු ප්‍රාණවධ සඞ්ඛ්‍යාත මහකරණී ඇති යාගය නො වණමි. ඒ කවර හෙයින යත්? බමුණ, මෙබඳු සාරම්භයාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ නො එළඹෙත් ද, එහෙයිනි.
බමුණ, යම් බඳු යාගයෙකදී ගෙරිහු නො නැසෙද් ද, එළු බැටළුවෝ නො නැසෙද් ද, කුකුළු හූරහු නො නැසෙද් ද, විවිධ ප්‍රාණීහු විනාශයට නො යෙද් ද, බමුණ, මම මෙබඳු නිරාරම්භ යාගය වණමි. යම් නිත්‍යදානයෙක් කුලපිළිවෙළින් එන දානයෙක් ඇද් ද, එයයි. එය කවර හෙයින යත්? බමුණ, මෙබඳු නිරාරම්භ යාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ එළඹෙති.
99. රැස් කළ, ප්‍රාණසමාරම්භ රහිත, කැප වූ, එබඳු දේයධර්‍මයට නිසි කාලයෙහි සංයත වූ බ්‍රහ්මචාරීහු එළඹෙති.
100. ලෝකයෙහි කෙලෙස් සියන් පෙරළු වටකුල වටගති ඉක්ම ගිය පුණ්‍යයෙහි කෝවිද වූ යම් බුදු කෙනෙක් ඇද්ද, ඔහු තෙල යාගය පසසත්.
101. ප්‍රකෘතිදානයෙහි හෝ නොහොත් ශ්‍රාද්ධදාන (=මතකදාන) යෙහි නිසි පරිදි (හෝම) පූජා කොට බ්‍රහ්මචාරී සඞ්ඛ්‍යාත මනා කෙතෙහි පහන් සිත් ඇතිව යාග කරන්නේ ය.
102. දක්‍ෂිණාර්‍හයන් කෙරෙහි යමක් කරණ ලද ද, ඒ මොනොවට කළ පූජාවෙකි. මොනොවට කළ මඞ්ගලදානයෙකි. මොනොවට ලත් දැයෙකි. යාගත් විපුල වෙයි. දෙවියෝත් පහදිති.
103. මනා නුවණ ඇති සැදැහැතියේ මුත්සිතින් මෙසේ යාග කොට ඒ පණ්ඩිත තෙම නිදුක් වූ සුඛ සහිත ලෝකයට එළඹෙයි.
චක්කවර්‍ගය සතරවැනි යි.
එහි උද්දානය:
චක්ක, සඞ්ග්‍රහ, සීහ, පසාද, පස්වන වස්සකාර සූත්‍රය ද, දොණ-ලෝක, අපරිහානිය, පතිලීන, උජ්ජාය, උදායී දැ යි ඒ දස සූත්‍රයෝ වෙති.
5. රෝහිතස්ස වර්‍ගය
4. 1. 5. 1.
[සමාධිභාවනා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, මේ සමාධිභාවනාවෝ සතරදෙනෙකි. කවර සතර දෙනෙකයත්:
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් දුටුධැමි සුවවෙහෙර පිණිස පවත්නේ වෙයි.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් දිව්‍යචක්‍ෂුර්ඥානදර්ශනප්‍රතිලාභය පිණිස පවත්නේ වෙයි.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් ස්මෘතිසම්ප්‍රඥානය පිණිස පවත්නේ වෙයි.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් ආස්‍රවක්‍ෂය පිණිස පවත්නේ වෙයි.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද දුටුධැමි සුවවෙහෙර පිණිස පවත්නා සමාධිභාවනා කවර?
මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන් කෙරෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද වෙසෙයි. මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද මෙ සමාධිභාවනාව දෘෂ්ටධර්‍මසුඛවිහරණය පිණිස පවත්නී ය යි කියනු ලැබේ.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද කවර සමාධිභාවනායෙක් ඥානදර්‍ශනප්‍රතිලාභය පිණිස පවත්නේ ද?
මහණෙනි, මෙසස්නෙහි මහණ ආලෝකසංඥාව මෙනෙහි කෙරෙයි. මෙසේ විවෘත වූ නො වැළඳුනු සිතින් දිවාසංඥාව ඉටයි. දවහල් ආලෝකසංඥාව යම් පරිදි ද රැය ද එපරිදි ම ය. රැය යම් පරිදි ද දවහලත් එපරිදි ම ය. දිව්‍යචක්‍ෂුර්ඥානයෙන් ආලෝක සහිත සිත වඩයි. මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ මේ සමාධිභාවනාව ඥානදර්‍ශනප්‍රතිලාභය පිණිස පවත්නී ය.
මහණෙනි, භාවිත බහුලීකෘත කවර සමාධිභාවනායෙක් ස්මෘතිසම්ප්‍රඥානය පිණිස පවත්නේ ද:
මහණෙනි, මෙ සස්නෙහි මහණහට වේදනාවෝ ප්‍රකටව උපදිත්. ප්‍රකටව වටහත්. ප්‍රකටව අස්තයට යෙත්. සංඥාවෝ ප්‍රකටව විතර්‍කයෝ ප්‍රකටව උපදිත්. ප්‍රකටව වටහත්. ප්‍රකටව අස්තයට යෙත්. මහණෙනි, භාවිත බහුලීකෘත වූ මේ සමාධිභාවනාව ස්මෘතිසම්ප්‍රඥානය පිණිස පවත්නී ය.
මහණෙනි, භාවිත බහුලීකෘත කවර සමාධිභාවනායෙක් ආස්‍රවක්‍ෂය පිණිස පවත්නේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්ච උපාදානස්කන්‍ධයෙහි උදා - විය අනුව බලනුයේ වෙසෙයි: මෙසේ රූපය, මෙසේ රූපසමුදයය, මෙසේ රූපයාගේ අස්තඞ්ගමය. මෙසේ වේදනාය, මෙසේ වේදනාසමුදයය, මෙසේ වේදනාවගේ අස්තඞ්ගමය. මෙසේ සංඥාය, මෙසේ සංඥාසමුදයය, මෙසේ සංඥාවගේ අස්තඞ්ගමය. මෙසේ සංස්කාරය, මෙසේ සංස්කාරසමුදයය, මෙසේ සංස්කාරයන්ගේ අස්තඞ්ගමය. මෙසේ විඥානය, මෙසේ විඥානසමුදයය, මෙසේ විඥානයාගේ අස්තඞ්ගමය කියා යි. මහණෙනි, භාවිත බහුලීකෘත මේ සමාධිභාවනාව ආස්‍රවක්‍ෂය පිණිස පවත්නී ය.