4. 1. 4. 8.
[පතිලීන සූත්‍රය]
38. මහණෙනි, (සත්‍යදර්‍ශන නම් මේ යයි වෙන වෙන ගත්වන බැවින්) ප්‍රත්‍යෙක සඞ්ඛ්‍යාත දෘෂ්ටිසත්‍යයන් පහ කළ මහණ මොනොවට වුහුටු හැම සෙවීම් ඇතියේ සන්හුන් කායසංස්කාර ඇතියේ එකලා බවට ගියේය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් මහණ ප්‍රත්‍යෙක සත්‍යයන් හළේ වේ ද යත්: මහණෙනි, බොහෝ මහණ බමුණන්ගේ යම් ඒ බොහෝ වූ වෙන් වෙන් කොට ගත් සත්‍යයෝ ඇත. ඒ කෙසේය යත්: ලෝකය ශාස්වතය කියා හෝ, ලෝකය අශාශ්වතය කියා හෝ, ලෝකය අන්ත ඇතියේය කියා හෝ, ලෝකය අන්ත නැතියේය කියා හෝ, ඒ ම ජීවය ඒ ම ශරීරය කියා හෝ, ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙක කියා හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි වෙයි කියා හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි නො වෙයි කියා හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි වන්නේත් නොවන්නේත් වෙයි කියා හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි නො ම වෙයි නොවන්නේත් නො වෙයි කියා හෝ, දෘෂ්ටීහු වෙත් ද, මෙසස්නෙහි ඒ මහණහු විසින් එ හැම වාදයෝ හරණ ලද්දාහු වෙත්; ත්‍යක්ත වෙත්; වාන්ත වෙත්; මුදන ලද්දාහු වෙත්; ප්‍රහීණ වෙත්; බැහැර ලන ලද්දාහු වෙත්. මහණෙනි මෙසේ මහණ ප්‍රනුදිතප්‍රත්‍යෙකසත්‍ය නම් වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ මොනොවට වුහුටු හැම සෙවීම් ඇතියේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණහට කාමෛෂණාව ප්‍රහීණ වෙයි. භවෛෂණාව ප්‍රහීණ වෙයි. බ්‍රහ්මචර්‍ය්‍ය - ඒෂණාව ප්‍රතිප්‍රශ්‍රබ්ධ වෙයි. මහණෙනි මෙසේ මහණ මොනොවට වුහුටු හැම සෙවීම් ඇත්තේ නම් වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ සන්හුන් කායසංස්කාර ඇත්තේ වේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැලම සෞමනස්‍යදෞර්‍මනස්‍ය දෙදෙනා අස්තයට යෑමෙන් දුඃඛ නොවූත් සුඛ නොවූත් උපේක්‍ෂා ස්මෘතිපරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ සන්හුන් කායසංස්කාර ඇත්තේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ එකලා වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණහට ‘අස්මි’ මානය ප්‍රහීණ වෙයි, මුලසුන් වෙයි; තාලයක් සෙයින් අවස්තුක බව කරණ ලද්දේ වෙයි, අභාවය කරණ ලද්දේ වෙයි, මතුයෙහි නූපදනා ධර්‍මතා ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ මහණ එකලා වූයේ නම් වෙයි.
මහණෙනි, මහණ ප්‍රත්‍යෙක දෘෂ්ටිසත්‍යය හළේ, මොනොවට හළ හැම සෙවීම් ඇතියේ, සන්හුන් කායසංස්කාර ඇතියේ එකලා වූයේය යි කියනු ලැබේ.
91-92. සියලු රාගයා කෙරෙන් විරක්ත වූ අර්‍හත්ඵල විමුක්තියෙන් සමන්‍වාගත වූ මහණහු විසින් කාමේසනාය, භවෙසනාය යන මෙය හා බ්‍රහ්මචරියේසනාය යන ඒසනාවෝ හරණ ලදහ. උස්ව නැඟ සිටුනා දෘෂ්ටීහු ද ඉතිසත්‍යපරාමර්‍ෂය ද යන දෘෂ්ටිසත්‍යයෝ නසන ලදහ.
93. සන්හුන් කෙලෙසුන් ඇති ස්මෘතිමත් කාය - චිත්තපස්සද්ධි ඇති නොපරදවන ලද සිවුසස් දත් ඒ මහණ ඒකාන්තයෙන් මානයාගේ ප්‍රහාණාභිසමයයෙන් “පතිලීන” යයි කියනු ලැබේ.