4. 1. 4. 7.
[අපරිහානිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත මහණ පරිහාණියට අභව්‍යය. නිවන් හමුයෙහි ම සිටුනේය. කවර සතර කරුණෙන යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලසම්පන්න වෙයි, ඉන්‍ද්‍රියයෙහි පියූ දොර ඇතියේ වෙයි, භෝජනයෙහි පමණ දන්නේ වෙයි, නිදි වැරීමෙහි යෙදුනේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ශීලසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව වෙසෙයි, ආචාරගෝචරසම්පන්න වෙයි, අණුමාත්‍ර වරදෙහිත් බිය දක්නා සුලු වෙයි, සමාදන් කොට ගෙණ සිකපෙදෙහි හික්මෙයි. මහණෙනි මෙසේ මහණ ශීලසම්පන්න වෙයි.
මහණෙනි, මහණ කෙසේ නම් ඉන්‍ද්‍රියයෙහි පියූ දොර ඇතියේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිති නො ගන්නා සුලු වෙයි. අනුව්‍යඤ්ජන නො ගන්නා සුලු වෙයි. යමක් හේතු කොට ගෙණ චක්‍ෂුරින්‍ද්‍රියයෙහි අසංවෘත ව වසන තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහුබැඳ ගන්නාහු වෙත් ද, එය ඇවිරීම පිණිස පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රියය රක්නේ ය. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
කණින් හඬ අසා - නැහැයෙන් ගඳ අසා - දිවෙන් රස විඳ - කයින් පහස් පැහැස - සිතින් දහම් දැන නිමිති ගන්නා සුලු නො වේ. අනුව්‍යඤ්ජන ගන්නා සුලු නො වේ. යමක් හේතු කොට ගෙණ මනින්‍ද්‍රියයෙහි අසංවෘත ව වසන තෙල මහණහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහු බැඳ ගන්නාහු වෙත් ද එය ඇවිරීම පිණිස පිළිපදනේ ය. මනින්‍ද්‍රිය රක්නේ ය. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මෙසේ මහණ පියූ දොර ඇතියේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ භෝජනයෙහි මාත්‍රඥ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නුවණින් මෙනෙහි කොට අහර වළඳයි. කෙසේ ද: දවය පිණිස නො වෙයි. මද වැඩීමට නො වෙයි. මණ්ඩනයට නො වෙයි. විභූෂණයට නො වෙයි. මේ කරජකායයාගේ ස්ථිතිය පිණිස ම වෙයි, යැපීම පිණිස ම වෙයි, විහිංසා සන්සිඳුවාලීම පිණිස ම වෙයි. මෙසේ මේ අහර නිසා පැරණි වේදනාව ද නසමි. අලුත් වේදනා ද නූපදවමි. මාගේ ජීවිතයාත්‍රාව ද වෙයි. අනවද්‍යතාව ද වෙයි. පහසු විහරණය ද වෙයි. (කියායි.) මහණෙනි, මෙසේ මහණ භෝජනයෙහි මාත්‍රඥ වේ.
මහණෙනි, කෙසේ නම් මහණ නිදිවැරීමෙහි යෙදුනේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ දවස සක්මනින් හිඳීමෙන් ආවරණීය දහමින් සිත ශුද්ධ කෙරෙයි. රැය පළමු යම සක්මනින් හිඳීමෙන් ආවරණීය දහමින් සිත පිරිසිදු කෙරෙයි. රැය මැදුම් යම දකුණු ඇළයෙන් දකුණුපයෙහි වම්පය මඳක් ඇද තබා ස්මෘතිමත් වූයේ නුවණින් දන්නේ ‘නැගී සිටිමි’ යන සංඥාව මෙනෙහි කොට ගෙණ සිංහශය්‍යා කෙරෙයි. රැය පැසිම් යම සක්මනින් හිඳීමෙන් ආවරණීය දහමින් සිත පිරිසිදු කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ නිදි වැරීමෙහි යෙදුනේ වෙයි.
මහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත මහණ පරිහාණිය පිණිස අභව්‍ය වෙයි. නිවන් හමුයෙහි ම වෙයි.
88. ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පිහිටි ඉන්‍ද්‍රියයෙහි සංවර ඇති භෝජනයෙහි මාත්‍රඥ වූ මහණ නිදි වැරීමෙහි යෙදුනේ වේ ද,
89. මෙසේ වසන වැර ඇති දවරෑ නො මැලි නිවන් වදනු සඳහා කුසල්දහම් වඩන -
90. අප්‍රමාදයෙහි ඇලුනු ප්‍රමාදයෙහි භය දක්නා සුලු ඒ මහණ පරිහාණිය පිණිස අභව්‍ය වෙයි. නිවන් හමුයෙහි ම සිටුනේය.
4. 1. 4. 8.
[පතිලීන සූත්‍රය]
38. මහණෙනි, (සත්‍යදර්‍ශන නම් මේ යයි වෙන වෙන ගත්වන බැවින්) ප්‍රත්‍යෙක සඞ්ඛ්‍යාත දෘෂ්ටිසත්‍යයන් පහ කළ මහණ මොනොවට වුහුටු හැම සෙවීම් ඇතියේ සන්හුන් කායසංස්කාර ඇතියේ එකලා බවට ගියේය යි කියනු ලැබේ.