4. 1. 4. 6.
[දොණ (ලෝක) සූත්රය]
36. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ උක්කට්ඨා සේතව්යා දෙනුවර අතර අදන්මගට පිළිපන් සේක. ද්රෝණ බමුණුත් උක්කට්ඨා සේතව්යා දෙනුවර අතර දික්මගට පිළිපන්නේ වෙයි. ද්රෝණ බමුණු භාග්යවතුන් වහන්සේගේ පාදයෙහි දහසක් අර ඇති නිම් සියෝ නැබ සියෝ සර්වාකාරයෙන් පරිපූර්ණ වූ ලක්ෂණ චක්රයන් දිට. දැක ඔහුට මෙ බඳු සිතෙක් වී: “භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්ය්යය, භවත්නි ඒකාන්තයෙන් අද්භූතය. ඒකාන්තයෙන් තෙල පාද මිනිසක්හුගේ පාද නොවන්නේ වනැ” යි.
එක්බිති භාග්යවතුන් වහන්සේ මඟින් බැහැරව එක්තරා රුක්මුලෙක පලක් බැඳ උපරිමකාය ඍජු කොට තබා අභිමුඛ කොට සිහිය එළවා වැඩ හුන්හ.
එක්බිති ද්රෝණ බමුණා භාග්යවතුන් වහන්සේගේ පිය අනුව යන්නේ එක්තරා රුක්මුලෙක හුන් ප්රසාද ජනක වූ ප්රසාදයට කරුණු වූ සන්හුන් ඉඳුරන් ඇති සන්හුන් සිත් ඇති උත්තම දමථ ශමථ සඞ්ඛ්යාත අර්හත්ත්ව මාර්ග-සමාධි දෙකට පත් දාන්ත වූ ගෝපිත වූ රැකි ඉඳුරන් ඇති නාග වූ භාග්යවතුන් වහන්සේ දිටි. දැක භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
භවත් දෙවි වෙයි හොයි? බමුණ, මම දෙවි නො වෙමි යි. භවත් ගන්ධර්ව වෙයි හොයි? බමුණ, මම ගන්ධර්ව නො වෙමි යි. භවත් යක්ෂ වෙයි හොයි? බමුණ, මම යක්ෂ නො වෙමි යි. භවත් මනුෂ්ය වෙයි හො යි? බමුණ, මම මනුෂ්ය නො වෙමි යි.
‘භවත් දෙවි වෙයි හොයි?’ මෙසේ පුළුවුස්නා ලද්දෙහි ‘බමුණ, මම දෙවි නො වෙමි’ යි කියහි. ‘භවත් ගන්ධර්ව වෙයි හොයි?’ මෙසේ පුළුවුස්නා ලද්දෙහි ‘බමුණ, මම ගන්ධර්ව නො වෙමි’ යි කියහි. ‘භවත් යක්ෂ වෙයි හොයි?’ මෙසේ පුළුවුස්නා ලදුයෙහි ‘බමුණ, මම යක්ෂ නො වෙමි’ යි කියහි. ‘භවත් මනුෂ්ය වෙයි හොයි?’ මෙසේ පුළුවුස්නා ලදුයෙහි ‘බමුණ, මම මනුෂ්ය නො වෙමි’ යි කියහි. එබැවින් භවත් කවරේ ය? යි කීය.
බමුණ, මම යම් බඳු කාමාදි ආස්රවයන්ගේ අප්රහීණභාවය හේතු කොට ගෙණ දෙවි වෙම් නම් මාගේ ඒ ආස්රවයෝ ප්රහීණයහ. මුලුසුන්හ. මස්තකච්ඡින්න තාලයක් මෙන් අවස්තුකභාවයට පමුණුවන ලදහ. අභාවප්රාප්ත කරණ ලදහ. මතුයෙහි නූපදනා දහම් ඇතියහ. බමුණ, මම යම්බඳු ආස්රව කෙනකුන්ගේ අප්රහීණභාවය හේතු කොට ගෙණ ගන්ධර්ව වෙම් නම් - යක්ෂ වෙම් නම් - මනුෂ්ය වෙම් නම් මාගේ ඒ ආස්රවයෝ ප්රහීණයහ. මුලුසුන්හ. මස්තකච්ඡින්නතාලයක් මෙන් අවස්තුකභාවයට පමුණුවන ලදහ. අභාවප්රාප්ත කරණ ලදහ. මතුයෙහි නූපදනා ස්වභාව ඇතියහ.
බමුණ, යම්සේ උපුලෙක් වේවයි, පියුමෙක් වේවයි, හෙළ පියුමෙක් වේවයි, දියෙහි උපන්නේ දියෙහි වැඩුනේ දිය පැනගෙන නැගී දියෙන් අනුපලිප්තව සිටුනේ ද, බමුණ, එපරිදි ම මම ලොව්හි උපනෙම්, ලොව්හි වැඩුනෙම්, ලොව මැඩ ගෙණ ලෝකයා විසින් අනුපලිප්තව වෙසෙමි. බමුණ, මා බුදුහ යි දනුව.
86. යම් කාමාදි ආස්රව කෙනෙකුන් නිසා මට දෙව්ලොව උපත් වේ නම්, ආකාශවර ගන්ධර්ව වෙම් නම්, යම් ආස්රව කෙනෙකුන් නිසා යක්බවට යෙම් නම්, මිනිස් බවට හා යෙම් නම්, මාගේ ඒ ආස්රවයෝ ක්ෂීණයහ. විධ්වස්තයහ. පහ කළ නල (බැඳුම්) ඇතියහ.
87. සිත්කලු හෙළ පියුමෙක් යම්සේ දියෙන් නො ගැල්වේ ද, එසෙයින් ම ලෝකයා විසින් උපලිප්ත නො වෙමි. බමුණ, එහෙයින් මම බුදුමි.
4. 1. 4. 7.
[අපරිහානිය සූත්රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත මහණ පරිහාණියට අභව්යය. නිවන් හමුයෙහි ම සිටුනේය. කවර සතර කරුණෙන යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලසම්පන්න වෙයි, ඉන්ද්රියයෙහි පියූ දොර ඇතියේ වෙයි, භෝජනයෙහි පමණ දන්නේ වෙයි, නිදි වැරීමෙහි යෙදුනේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ශීලසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්රාතිමෝක්ෂසංවරයෙන් සංවෘත ව වෙසෙයි, ආචාරගෝචරසම්පන්න වෙයි, අණුමාත්ර වරදෙහිත් බිය දක්නා සුලු වෙයි, සමාදන් කොට ගෙණ සිකපෙදෙහි හික්මෙයි. මහණෙනි මෙසේ මහණ ශීලසම්පන්න වෙයි.
මහණෙනි, මහණ කෙසේ නම් ඉන්ද්රියයෙහි පියූ දොර ඇතියේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිති නො ගන්නා සුලු වෙයි. අනුව්යඤ්ජන නො ගන්නා සුලු වෙයි. යමක් හේතු කොට ගෙණ චක්ෂුරින්ද්රියයෙහි අසංවෘත ව වසන තෙල මහණහු අභිධ්යා දෞර්මනස්ය සඞ්ඛ්යාත ලමු අකුසල් දහම්හු ලුහුබැඳ ගන්නාහු වෙත් ද, එය ඇවිරීම පිණිස පිළිපදනේ ය. චක්ෂුරින්ද්රියය රක්නේ ය. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණේ.