4. 1. 4. 5.
[වස්සකාර සූත්‍රය]
35. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි (ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින්) කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එක්බිති මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු බුදුන් කරා එළඹියේ ය. එළඹ බුදුන් සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහිකරනට නිසි කථා කොට නිමවා එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් මගධමහාමාග්‍ර වස්සකාර බමුණු බුදුනට තෙල සැළ කෙළේ ය.
භවත් ගෞතමයන් වහන්ස, අපි සතර කරුණෙකින් සමන්‍වාගත වූ මහාප්‍රාඥයා මහාපුරුෂයකු කොට පණවම්හ. කවර සතර කරුණෙන යත්:
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව්හි ඒ ඒ ශ්‍රැතජාතය පිළිබඳ බහුශ්‍රැතයෙක් වෙයි. “මේ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය, මේ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය” යි කියා ඒ ඒ භාෂිතය පිළිබඳ අර්‍ත්‍ථය දන්නේ වෙයි. පෙර කළ දෑ පෙර වුණු දෑ සිහි කරණ, පුන පුනා ගොස් සිහි කොට ගන්නා ස්මෘති ඇතියෙක් වෙයි. ගිහිගෙහි වැටෙන, කුම් කෙරෙම්දැ යි විමසා කළ යුතු යම් ඒ දෑ ඇත් ද, එහි ලා අනලස් වූ එහි ලා උපායවීමාංසායෙන් සමන්‍වාගත වූ කරන්නට පොහොසත් සංවිධානයට පොහොසත් දක්‍ෂයෙක් වෙයි. භවත් ගෞතමයන් වහන්ස, අපි මේ සතර කරුණෙන් සමන්‍වාගත මහාප්‍රාඥයා මහාපුරුෂයකු කොට පණවම්හ. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මබස අනුමෙවිය යුතු නම් භවත් ගෞතමයන් වහන්සේ මබස අනුමෝදන් කෙරෙත්වා. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මබස නෙරලිය යුතු නම් භවත් ගෞතමයන් වහන්සේ මබස නෙරත්වා යි.
බමුණ, තාගේ වචනය මම අනුමෝදන් නො කරමි. නො ද බැහැර කරමි. බමුණ, මම සතර කරුණෙකින් සමන්‍වාගත මහපැණැතියා මහපුරිස් කොට පණවමි. කවර සතර කරුණෙන යත්:
බමුණ, මෙලොව බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුඛ පිණිස පිළිපන්නෙක් වෙයි. ඔහු විසින් කල්‍යාණධර්‍මතා සඞ්ඛ්‍යාත, කුශලධර්‍මතා සඞ්ඛ්‍යාත විවසුන් සහගිය මගෙහි බොහෝ ජනතාව පිහිටුවන ලදු වෙයි.
හේ නෙක්ඛම්මාදි යම් විතර්‍කයක් විතර්‍කනය කරන්නට කැමැති වේ ද, ඒ විතර්‍කය විතර්‍කනය කෙරෙයි. කාමාදි යම් විතර්‍කයක් විතර්‍කනය කරන්නට නො කැමැති වේ ද, ඒ විතර්‍කය විතර්‍කනය නො කෙරෙයි. යම් සංකල්පයක් සංකල්පනා කරන්නට කැමැති වේ ද, ඒ සංකල්පය සංකල්පනා කෙරෙයි. යම් සංකල්පයක් සංකල්පනා කරන්නට නො කැමැති වේ ද, ඒ සංකල්පය සංකල්පනා නො කෙරෙයි. මෙසේ විතර්‍කපථයෙහි චිත්තවශීප්‍රාප්ත වේ:
විශුද්ධචිත්තසංනිඃශ්‍රිත වූ ඉහාත්මසුඛවිහරණ ඇති සතර වැදෑරුම් දැහැන් කැමැති සේ ලබන සුල්ලේ, නිදුකින් ලබන සුල්ලේ, විපුල සේ ලබන සුල්ලේ වෙයි.
ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමන් විසින් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ ඇටිඇටිසඳ සමවැද වෙසෙයි.
බමුණ, තාගේ වචනය මම අනුමෝදන් නො කරමි. නො ද බැහැර කෙරෙමි. බමුණ, මේ සතර කරුණින් සමන්‍වාගත මහපැණැතියා මහපුරිස් කොට පණවමි.
භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යය, භවත් ගෞතමයන් වහන්ස, අද්භූතය, භවත් ගෞතමයන් වහන්සේ විසින් තෙල බස පරමකෝටින් සුභාෂිතය. අපි භවත් ගෞතමයන් වහන්සේ මේ සතර ධර්‍මයෙන් සමන්‍වාගතයකු කොට ධරම්හ.
භවත් ගෞතමයන් වහන්සේ වනාහි බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුඛ පිණිස පිළිපන් සේක. මුබ වහන්සේ විසින් බොහෝ ජනතාවක් කල්‍යාණධර්‍මතා කුශලධර්‍මතා සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යන්‍යාය යි කියන ලද විවසුන් සහගිය මගෙහි පිහිටුවන ලදු.
භවත් ගෞතමයන් වහන්සේ නෙක්ඛම්මාදි යම් විතර්‍කයක් විතර්‍කනයට කැමැති සේක් ද, ඒ විතක් විතකන සේක. යම් කාමාදි විතර්‍කයක් විතකන්නට නො කැමැති සේක් ද, ඒ විතක් නො විතකන සේක. යම් සංකල්පයක් සංකල්පනය කිරීමට කැමැති සේක් ද, ඒ සංකල්පය සංකල්පනය කරණ සේක. යම් සංකල්පයක් සංකල්පනා කරන්නට නො කැමැති සේක් ද, ඒ සංකල්පනාව සංකල්පනා නො කරණ සේක. භවත් ගෞතමයන් වහන්සේ විතර්‍ක පථයෙහි චිත්තවශී ප්‍රාප්තයහ.
භවත් ගෞතමයන් වහන්සේ වනාහි විශුද්ධ චිත්ත සංනිඃශ්‍රිත වූ ඉහාත්ම සුඛ විහරණ ඇති සිවු දැහැන් කැමැති සේ ලබන සුල්ලහ. නිදුකින් ලබන සුල්ලහ. විපුල කොට ලබන සුල්ලහ.
භවත් ගෞතමයන් වහන්සේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ඵලප්‍රඥාව ඉහාත්මයෙහි ම තමන් වහන්සේ වෙසෙසින් දැන පසක් කොට ගෙණ සමවැද වසන සේක.
බමුණ, තා විසින් ඝටා එළවා තෙපුලෙක් ඒකාන්තයෙන් ම බණන ලදී. වැලිත් තාහට මම එළි කොට කියන්නෙමි.
බමුණ, මම වනාහි බහුජනහිතය පිණිස, බහුජනසුඛය පිණිස පිළිපන්මි. මා විසින් කල්‍යාණධර්‍මතා කුශලධර්‍මතා සඞ්‍යාත වූ ආර්‍ය්‍යන්‍යාය යි කියන ලද විවසුන් සහගිය මගෙහි බොහෝ ජනතාවක් පිහිටුවන ලදු.
බමුණ, මම යම් විතර්‍කයක් විතකන්නට කැමැතියෙම් ද, ඒ විතක් විතකමි. යම් විතර්‍කයක් විතකන්නට නො කැමැතියෙම් ද, ඒ විතක් නො විතකමි. යම් සංකල්පයක් සංකල්පනය පිණිස කැමැතියෙම් ද, ඒ සංකල්පය සංකල්පනා කරමි. යම් සංකල්පයක් සංකල්පනය පිණිස නො කැමැතියෙම් ද, ඒ සංකල්පය සංකල්පනා නො කරමි.
බ්‍රාහ්මණය, මම විතර්‍කපථයෙහි චිත්තවශීප්‍රාප්තයෙමි. බ්‍රාහ්මණය, මම විශුද්ධචිත්තසංනිඃශ්‍රිත වූ දෘෂ්ටධර්‍මසුඛ විහරණ වූ සිවු දැහැන් කැමැති සේ ලබන සුල්ලෙම් නිදුකින් ලබන සුල්ලෙම්, විපුල සේ ලබන සුල්ලෙම් වෙමි.
බ්‍රාහ්මණය, මම ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධිය හා ඵලප්‍රඥාව ඉහාත්මයෙහි ම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට සමවැද වෙසෙමි.