4. 1. 4. 4.
[අග්ගප්පසාද සූත්රය]
34. මහණෙනි, මේ අග්රප්රසාදයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, පා නැති හෝ දෙපා ඇති හෝ සියුපා ඇති හෝ බොහෝ පා ඇති හෝ රූපී වූ හෝ අරූපී වූ හෝ සංඥී වූ හෝ අසංඥී වූ හෝ නෛවසංඥීනාසංඥී (භවාග්රගත) වූ හෝ යම් පමණ සත්ත්වයෝ ඇත් ද, ඔවුනට අර්හත් සම්යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ අග්රයහ යි කියනු ලැබෙත්. මහණෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි ප්රසන්න වෙත් ද, ඔහු අග්රස්ථානයෙහි ප්රසන්නයහ. අග්රස්ථානයෙහි ප්රසන්නයනට අග්රවිපාකයෙක් වෙයි.
මහණෙනි, යම් පමණ හේතුයෙන් නිපන් දහම්හු ඇත් ද, අරී අටඟිමග ඔවුනට අග්රය යි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් අරී අටඟි මගෙහි ප්රසන්න වෙත් ද, ඔහු අග්රස්ථානයෙහි ප්රසන්නයහ. අග්රස්ථානයෙහි ප්රසන්නයනට විපාකයෙක් වෙයි.
මහණෙනි, හේතුයෙන් නිපන්නා වූ හෝ හේතුයෙන් නො නිපන්නා වූ හෝ යම් පමණ දහම්හු ඇත් ද, ඔවුනට නිවන අග්රය යි කියනු ලැබේ. රාගාදී මද මඩනා, පවස් සන්හිඳුවන, ආලයතෘෂ්ණා නසන, වටදුක් සිඳලන, තෘෂ්ණාක්ෂය කරණ, විගතරාග ඇති, නිරෝධ සඞ්ඛාත නිවණෙක් ඇත් ද, එය යි. මහණෙනි, යම් කෙනෙක් විරාගධර්මයෙහි ප්රසන්න වෙත් ද, ඔහු අග්රස්ථානයෙහි ප්රසන්නයහ. අග්රස්ථානයෙහි ප්රසන්නයනට අග්රවිපාකයෙක් වෙයි.
මහණෙනි, යම් පමණ සඟහු හෝ වෙත් ද, ගණහු හෝ වෙත් ද, තථාගතශ්රාවකසඞ්ඝ ඔවුනට අග්රය යි කියනු ලැබේ. යම් සතර පුරුෂයුග කෙනෙක් වෙත් ද, අෂ්ටාර්ය්ය පුද්ගල කෙනෙක් වෙත් ද, බුදුන් ගේ මේ ශ්රාවක සඞ්ඝ තෙමේ ආහුන සඞ්ඛ්යාත සත්කාරයට නිසිය, පාහුණ සඞ්ඛ්යාත ආගන්තුක සත්කාරයට නිසිය. දක්ෂිණාවට නිසිය. අඤ්ජලිකරණයට නිසිය, ලෝකයාහට අනුත්තර පුණ්යක්ෂේත්රය වෙයි. මෙබඳු ශ්රාවකසඞ්ඝයා යි. මහණෙනි, යම් කෙනෙක් සඟුන් කෙරෙහි ප්රසන්න වෙත් ද, ඔහු අග්රස්ථානයෙහි ප්රසන්නයහ. අග්රස්ථානයෙහි ප්රසන්නයනට අග්රවිපාකයෙක් වෙයි.
මහණෙනි, මේ සතර අග්රප්රසාදයෝ ය.
80. අග්රස්ථානයෙහි එකැතින් පහන් වූ අග්ර චතුස්සත්යධර්මය දන්නා වූ, දක්ෂිණාර්හ වූ අනුත්තර වූ අග්ර වූ බුදුන් කෙරෙහි පහන් ඇත්තනට -
81. විරෝගොපශමසුඛ සඞ්ඛ්යාත අග්රධර්මයෙහි පහන් ඇත්තනට, පුණ්යක්ෂේත්ර වූ අනුත්තර වූ අග්ර සඞ්ඝයා කෙරෙහි පහන් ඇත්තනට -
82. අග්රස්ථානයෙහි ලා දන් දෙන ඇත්තනට අග්ර පින් වැඩේ. අග්ර වූ ආයුෂය, වර්ණය, යශස, කීර්තතිය, සුඛය, බලය ද ලැබේ.
83. අග්ර වූ ශ්රද්ධාදි ධර්මයෙන් යුක්ත වූයේ අග්ර වූ සඞ්ඝරත්නය විෂයෙහි දන් දෙන ප්රශස්ත නුවණ ඇතියේ දෙවිබවට පැමිණියේ හෝ මිනිසත්බවට පැමිණියේ හෝ අග්රප්රාප්ත ව සතුටු වෙයි.
4. 1. 4. 5.
[වස්සකාර සූත්රය]
35. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි (ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින්) කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එක්බිති මගධමහාමාත්ර වූ වස්සකාර බමුණු බුදුන් කරා එළඹියේ ය. එළඹ බුදුන් සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහිකරනට නිසි කථා කොට නිමවා එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් මගධමහාමාග්ර වස්සකාර බමුණු බුදුනට තෙල සැළ කෙළේ ය.
භවත් ගෞතමයන් වහන්ස, අපි සතර කරුණෙකින් සමන්වාගත වූ මහාප්රාඥයා මහාපුරුෂයකු කොට පණවම්හ. කවර සතර කරුණෙන යත්:
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව්හි ඒ ඒ ශ්රැතජාතය පිළිබඳ බහුශ්රැතයෙක් වෙයි. “මේ තෙල භාෂිතයාගේ අර්ත්ථය, මේ තෙල භාෂිතයාගේ අර්ත්ථය” යි කියා ඒ ඒ භාෂිතය පිළිබඳ අර්ත්ථය දන්නේ වෙයි. පෙර කළ දෑ පෙර වුණු දෑ සිහි කරණ, පුන පුනා ගොස් සිහි කොට ගන්නා ස්මෘති ඇතියෙක් වෙයි. ගිහිගෙහි වැටෙන, කුම් කෙරෙම්දැ යි විමසා කළ යුතු යම් ඒ දෑ ඇත් ද, එහි ලා අනලස් වූ එහි ලා උපායවීමාංසායෙන් සමන්වාගත වූ කරන්නට පොහොසත් සංවිධානයට පොහොසත් දක්ෂයෙක් වෙයි. භවත් ගෞතමයන් වහන්ස, අපි මේ සතර කරුණෙන් සමන්වාගත මහාප්රාඥයා මහාපුරුෂයකු කොට පණවම්හ. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මබස අනුමෙවිය යුතු නම් භවත් ගෞතමයන් වහන්සේ මබස අනුමෝදන් කෙරෙත්වා. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මබස නෙරලිය යුතු නම් භවත් ගෞතමයන් වහන්සේ මබස නෙරත්වා යි.
බමුණ, තාගේ වචනය මම අනුමෝදන් නො කරමි. නො ද බැහැර කරමි. බමුණ, මම සතර කරුණෙකින් සමන්වාගත මහපැණැතියා මහපුරිස් කොට පණවමි. කවර සතර කරුණෙන යත්:
බමුණ, මෙලොව බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුඛ පිණිස පිළිපන්නෙක් වෙයි. ඔහු විසින් කල්යාණධර්මතා සඞ්ඛ්යාත, කුශලධර්මතා සඞ්ඛ්යාත විවසුන් සහගිය මගෙහි බොහෝ ජනතාව පිහිටුවන ලදු වෙයි.
හේ නෙක්ඛම්මාදි යම් විතර්කයක් විතර්කනය කරන්නට කැමැති වේ ද, ඒ විතර්කය විතර්කනය කෙරෙයි. කාමාදි යම් විතර්කයක් විතර්කනය කරන්නට නො කැමැති වේ ද, ඒ විතර්කය විතර්කනය නො කෙරෙයි. යම් සංකල්පයක් සංකල්පනා කරන්නට කැමැති වේ ද, ඒ සංකල්පය සංකල්පනා කෙරෙයි. යම් සංකල්පයක් සංකල්පනා කරන්නට නො කැමැති වේ ද, ඒ සංකල්පය සංකල්පනා නො කෙරෙයි. මෙසේ විතර්කපථයෙහි චිත්තවශීප්රාප්ත වේ:
විශුද්ධචිත්තසංනිඃශ්රිත වූ ඉහාත්මසුඛවිහරණ ඇති සතර වැදෑරුම් දැහැන් කැමැති සේ ලබන සුල්ලේ, නිදුකින් ලබන සුල්ලේ, විපුල සේ ලබන සුල්ලේ වෙයි.
ආස්රවක්ෂය කිරීමෙන් අනාස්රව වූ චේතෝවිමුක්තිය හා ප්රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමන් විසින් ම විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ගෙණ ඇටිඇටිසඳ සමවැද වෙසෙයි.