4. 1. 4. 3.
[සීහ සූත්‍රය]
33. මහණෙනි, මෘගරාජන් වූ සිංහ සවස් වේලෙහි වසන තැනින් නික්මෙයි. වාසයෙන් නික්ම වජඹයි. වැජඹ අවට සතර දික් බලයි. හාත්පස සිවුදිගුන් බලා තුන් යලක් සිහනද කෙරෙයි. තුන් යලක් සිංහනාද කොට ගොදුරට යෙ යි. මහණෙනි, යම් තිරිසන්ගිය ප්‍රාණීහු නද කරණ මෘගරාජන් වූ සිංහයාගේ හඬ අසත් ද, ඔහු බෙහෙවින් භයට සංවේගයට සන්ත්‍රාසයට පැමිණෙත්. බිලවාසීහු බිලට වදිත්. උදකවාසීහු දියට වදිත්. වනවාසීහු වලට වදිත්. පක්‍ෂීහු අහස බෙජෙත්.
මහණෙනි, ගම් නියම්ගම් රජදහන්හි දළ සම්මුවා යොත්බහනින් බැඳ ලූ රාජකීය යම් හස්තීහු ඇත් ද, ඔහු දු ඒ බහන් සිඳ බිඳ බියපත් වූවාහු මලමූ හෙළමින් හිස් ලූ ලූ අත පලත්. මහණෙනි, එවැනි මහත් ඉදුහ ඇති සිංහ මෘගරාජ තිරිසන්ගිය සතුනට එවැනි මහේශාඛ්‍ය වෙයි. එවැනි මහානුභාව වෙයි.
මහණෙනි, එපරිදි ම යම් කලෙක අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ අනුත්තර වූ පුරුෂදම්‍යසාරථි වූ දෙවි මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් අවබෝධ කළා වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදනා සේක් ද, උන්වහන්සේ දහම් දෙසන සේක: සත්කාය මේ ය, සත්කායසමුදය මේ ය, සත්කායනිරෝධය මේ ය, සත්කායනිරෝධගාමිනී ප්‍රතිපත් මේ ය, කියා යි.
මහණෙනි, දීර්‍ඝායුෂ්ක වූ ශරීරවර්‍ණයෙන් වර්‍ණවත් වූ සුඛබහුල වූ උස් විමානයෙහි චිරස්ථායී ව සිටුනා වූ යම් දෙවි කෙනෙක් ඇත් ද, ඔහුත් තථාගතයන් වහන්සේගේ දම්දෙසුම් අසා බෙහෙවින් භයට සංවේගයට සන්ත්‍රාසයට වදිත්.
“භවත්නි, අපි ඒකාන්තයෙන් අනිත්‍ය ව සිටියමෝ නිත්‍යයම්හ යි සිතුම්හ භවත්නි, අපි ඒකාන්තයෙන් අධ්‍රැව වූවමෝ ධ්‍රැවයම්හ යි සිතුම්හ. භවත්නි අපි ඒකාන්තයෙන් අශාශ්වත වූවමෝ ශාශ්වතයම්හ යි සිතුම්හ. භවත්නි, අපි වූකලී අනිත්‍යයම්හ, අධ්‍රැවයම්හ, අශාශ්වතයම්හ. පඤ්චස්කන්‍ධපර්‍ය්‍යාපන්නයම්හ” යි කියා යි.
මහණෙනි, සදේවක ලෝකයාට තථාගතයන් වහන්සේ එවැනි මහර්ධි ඇතියහ. එවැනි මහේශාඛ්‍යයහ. එවැනි මහානුභාවයහ.
76-77. ශාස්තෘ වූ, සදෘශපුද්ගලරහිත වූ තථාගතයන් වහන්සේ යම් කලෙක චතුස්සත්‍යාවබෝධ කොට ගෙණ සදේවක ලෝකයාහට පඤ්චස්කන්‍ධය ද එහි නිරෝධය ද පඤ්චස්කන්‍ධසමුදය ද දුක් සන්හිඳීම වූ නිවන් කරා යන අරීඅටඟි මග දැ යි ධර්‍මචක්‍රය (දේශනාඥානයෙන්) පැවැත් වූ සේක් ද
78-79. (ලාභාදියෙහි) තාදී වූ කෙලෙසුන් කෙරෙන් මිදුනු අර්‍හත් ඒ බුදුන්ගේ බස් අසා, “භවත්නි, අපි පඤ්චස්කන්‍ධය පැන නොගියම්හු ල, අනිත්‍යයම්හු ලැ” යි කියා, ශරීරවර්‍ණයෙන් වර්‍ණවත් වූ යශස්වී වූ දීර්‍ඝායුෂ්ක වූ යම් දෙවියෝ ඇත් ද ඔහු සිංහරාජයාට ඉතරමෘගයන් බියපත් වන්නාක් සෙයින් බිය වැදුනාහු සංත්‍රාසයට වැටුනාහ.