4. 1. 3. 9.
[ධම්මපද සූත්‍රය]
29. මහණෙනි, මේ සතර ධර්‍මපද කෙනෙක් අග්‍රයහ යි දතයුත්තාහ. දිගුකල් පැවතියහ යි දතයුත්තාහ. ආර්‍ය්‍යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පෞරාණිකයහ. අසංකීර්‍ණයහ. (අතීත බුදුවරුන් විසිනුත් මෙයින් කිමැ යි) බැහැර නොකරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබෙති. අනායෙහිදු බැහැර නොකරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදහ. කවර සතර දෙනක යත්:
මහණෙනි, අනභිධ්‍යා ධර්‍මපදය අග්‍රය යි දත යුතුය. දිගුකල් පැවැත්තැ යි දත යුතුය. ආර්‍ය්‍යවංශය යි දතයුතුය. පෞරාණිකය. අසංකීර්‍ණය. (අතීත බුදුවරුන් විසිනුත් මෙයින් කිමැ යි) බැහැර නො කරණ ලදය. දැනුදු බැහැර නොකරණු ලැබේ. අනායෙහිදු බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
මහණෙනි, අව්‍යාපාද ධර්‍මපදය අග්‍රය යි දතයුතුය. දිගුකල් පැවැත්තැ යි දතයුතුය. ආර්‍ය්‍යවංශය යි දතයුතුය. පෞරාණිකය. අසංකීර්‍ණය. (පෙර බුදුවරුන් විසිනුදු මෙයින් කිමැ යි) බැහැර නොකරණ ලදී. දැනුදු බැහැර නොකරණු ලැබේ. අනායෙහිදු බැහැර නොකරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
මහණෙනි, සම්‍යක් ස්මෘතිධර්‍මපදය අග්‍රය යි දතයුතුය. දිගුකල් පැවැත්තැ යි දත යුතුය. ආර්‍ය්‍යවංශය යි දතයුතුය. පෞරාණිකය. අවිකීර්‍ණය. (පෙර බුදුවරුන් විසිනුත් මෙයින් කිමැයි) බැහැර නොකරණ ලදී. දැනුදු බැහැර නොකරණු ලැබේ. අනායෙහිදු බැහැර නොකරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
මහණෙනි, සම්‍යක්සමාධි ධර්‍මපදය අග්‍රය යි දතයුතුය. දිගුකල් පැවැත්තැ යි දත යුතුය. ආර්‍ය්‍යවංශ යයි දතයුතුය. පෞරාණික ය. අවිකීර්‍ණ ය. (අතීතයෙහි බුදුවරුන් විසිනුත් මෙයින් කිමයි) බැහැර නො කරණ ලදී. දැනුදු බැහැර නො කරණු ලැබේ. අනායෙහිදු බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
මහණෙනි, මේ සතර ධර්‍මපදයෝ අග්‍රයහයි දතයුත්තාහ. දිගුකල් පැවැත්තහයි දත යුත්තාහ. ආර්‍ය්‍යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පෞරාණිකයහ. අවිකීර්‍ණයහ. අතීතයෙහි බුදුවරුන් විසිනුත් (මෙයින් කිමැයි) බැහැර නො කරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබේ. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නො ගරහන ලදහ.
70. නිස්තෘෂ්ණ වැ පියවි සිතින් වසන්නේය. ස්මෘතියෙන් සමන්‍වාගත වැ ඒකාග්‍රචිත්ත වැ තමා කෙරෙහි ලා මොනොවට තැබූ සිතැතියෙක් වන්නේ යි.
4. 1. 3. 10.
[පරිබ්බාජක සූත්‍රය]
30. [මා විසින් මෙසේ අසන ලදී.] එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එසමයෙහි ඉතා ප්‍රකට වූ බොහෝ පිරිවැජියෝ සප්පිනියා හෝතෙර පිරිවැජි අරම්හි වෙසෙති. ඔහු කවරහ: “අන්නභාර යැ, වරධර යැ, සකුලුදායී පිරිවැජි යැ, අන්‍ය වූත් ඉපහළ (ප්‍රකට) පිරිවැජියෝ”යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි පිළිසලනින් නැගීසිටි සේක් සප්පිනියා හෝතෙර පිරිවැජි අරම් කරා වැඩි සේක. වැඩ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඒ පිරිවැජියන් බණවා තෙල සුත් වදාළහ:
පිරිවැජියෙනි, මේ සතර ධර්‍මපද කෙනෙක් අග්‍රයහයි දත යුත්තාහ. දිගුකල් පැවැතියහයි දත යුත්තාහ, ආර්‍ය්‍යයන්ගේ වංශයහයි දත යුත්තාහ. පෞරාණිකයහ. අවිකීර්‍ණයහ. (අතීතයෙහි බුදුවරුන් විසිනුත් මෙයින් කිමැයි) බැහැර නො කරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබෙති. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් හෙළා නො දක්නා ලදහ. කවර සතර ධර්‍මපද කෙනෙක යත්: