4. 1. 3. 8.
[අරියවංස සූත්රය]
28. මහණෙනි, මේ සතර ආර්ය්යවංශධර්ම කෙනෙක් අග්රයහ යි දතයුත්තාහ. දිගුකල් පැවතියහ යි දතයුත්තාහ. ආර්ය්යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පුරාණයහ යි දතයුත්තාහ. අවිකීර්ණයහ යි දතයුත්තාහ. (අතීත බුදුවරුන් විසිනුත් මෙයින් කිමැ යි) බැහැර නො කරණ ලද්දාහ. (දැනුදු) බැහැර නො කරණු ලැබෙත්. (අනායෙහි බුදුවරුන් විසිනුත්) බැහැර නො කරණු ලබන්නාහු වෙත්. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් අනින්දිතයහ. කවර ධර්ම සතර කෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ඉතරෙතරචීවරයෙන් සතුටු වෙයි. ඉතරෙතරචීවරසන්තෝෂයෙහි ද ගුණ බණන සුලු වෙයි. චීවරහේතුයෙන් අයුතු අනෙෂණයට නො පැමිණෙයි. සිවුරු ද නොලැබ නො තැතිගණී. සිවුරු ලැබ ද පහ වූ ලොබගැට ඇතියේ (අධිමාත්රතෘෂ්ණායෙන්) හටගත් තෘෂ්ණා නැත්තේ තෘෂ්ණායෙන් නොවළඳනා ලද්දේ දොස් දක්නා සුලු වූයේ නිඃසරණ ප්රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ ඉතරෙතරචීවරසන්තෝෂයෙනුත් තමා හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දකී. හෙ ද වනාහි ඒ චීවරසන්තොෂයෙහි දක්ෂ වූයේ අනලස් වූයේ මනා නුවණින් දන්නේ එළඹ සිටි සිහි ඇත්තේ වේ. මහණෙනි, මේ මහණ පැරණි වූ අග්ර ය යි දන්නා ලද ආර්ය වංශයෙහි (ආර්ය්ය ධර්මයෙහි) සිටියේ යි කියනු ලැබේ.
තවද මහණෙනි, මහණ ඉතරෙතරපිණ්ඩපාතයෙන් සතුටු වෙයි. ඉතරෙතරපිණ්ඩපාතසන්තුෂ්ටියෙහි ගුණ කියන්නේ ද වෙයි. පිණ්ඩපාතහේතුයෙන් අයුතු අනෙෂණයට නො පැමිණේ. පිඬුවා නො ලැබ ද ත්රස්ත නො වේ. පිඬුවා ලැබත් ලොබගැට නැතියේ අධිමාත්ර තෘෂ්ණායෙන් මුසපත් නො වූයේ තෘෂ්ණායෙන් නොවළඳනා ලදුයේ ආදීනව දක්නා සුලු වූයේ නිඃසරණ ප්රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ ඉතරෙතරපිණ්ඩපාතසන්තුෂ්ටියෙනුත් තමා නගා නො තබයි. මෙරමා හෙළා නො දකියි. හෙ ද ඒ පිණ්ඩපාතසන්තෝෂයෙහි දක්ෂ වූයේ (සාතත්යාභ්යාස විසින්) අනලස් වූයේ නුවණින් දන්නේ එළඹ සිටි සිහි ඇත්තේ වෙයි. මහණෙනි, මේ මහණ පොරාණ වූ අග්රඥ වූ ආර්ය්යවංශයෙහි සිටියේ යි කියනු ලැබේ.
තවද මහණෙනි, මහණ ඉතරෙතර ශයනාසනයෙන් සතුටු වෙයි. ඉතරෙතරශයනාසනසන්තුෂ්ටියෙහිදු ගුණ කියන සුලු වෙයි. ශයනාසනහේතුයෙන් අයුතු අනෙෂණයට ද නො පැමිණෙයි. සෙනසුන් නො ලැබත්. ත්රස්ත නො වෙයි. ශයනාසන ලැබත් ලොබගැටින් නොගැටුනේ අධිමාත්රතෘෂ්ණායෙන් මුසපත් නොවූයේ තෘෂ්ණාව විසින් නොවළඳනා ලදුයේ දොස් දක්නා සුලු වූයේ නිඃසරණ ප්රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ ඉතරෙතර ශයනාසනසන්තුෂ්ටියෙනුදු තමා නගා නො තබයි. මෙරමා නො ගරහයි. හෙ ද ඒ ශයනාසනසන්තෝෂයෙහි දක්ෂ වූයේ අනලස් වූයේ නුවණින් දන්නේ පැමිණ සිටි සිහි ඇත්තේ වෙයි. මහණෙනි, මේ මහණ පොරාණ වූ අග්රඥ වූ ආර්ය්ය වංසයෙහි සිටියේ යි කියනු ලැබේ.
තවද මහණෙනි, මහණ භාවනාභිරති ඇතියේ බවුන්හි ඇලුනේ වෙයි. ප්රහාණාභිරති ඇතියේ ප්රහාණියෙහි ඇලුනේ වෙයි. වැලිත් ඒ භාවනාරාමතායෙන් වේවයි, භාවනාරතියෙන් වේවයි, ප්රහාණාරාමතායෙන් වේවයි, ප්රහාණරතියෙන් වේවයි තමා හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දකී. හෙ ද වනාහි ඒ භාවනාරතියෙහි ප්රහාණරතියෙහි දක්ෂ වූයේ අනලස් වූයේ නුවණින් දන්නේ එළඹ සිටි සිහි ඇතියේ වෙයි. මහණෙනි, මේ මහණ පුරාණ වූ අග්රඥ වූ ආර්ය්යවංශධර්මයෙහි සිටියේ යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ආර්ය්යවංශධර්මයෝ අග්රයහ යි දතයුත්තාහ. දිගුකල් පැවතියහ යි දතයුත්තාහ. ආර්ය්යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පුරාණයහ යි දතයුත්තාහ. අවිකීර්ණයහ යි දතයුත්තාහ. (අතීත බුදුවරයන් විසිනුත් මෙයින් කිමැයි) බැහැර නො කරණ ලද්දාහ (දැනුදු) බැහැර නො කරණු ලැබෙත් (අනායෙහි බුදුවරයන් විසිනුත්) බැහැර නො කරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් අනින්දිතයහ.
මහණෙනි, මේ සතර ආර්ය්යවංශධර්මයෙන් සමන්වාගත වූ මහණ පැදුම්දික්හුදු වෙසේ නම් හෙ ම අනභිරතිය මැඩගෙණ සිටියි. අරතිය ඔහු නො මඩියි. පැළදිග්හිදු වෙසේ නම් හෙ ම අනභිරතිය මැඩගෙන සිටියි. අරතිය ඔහු නො මඩියි. උතුරුදික්හිදු වෙසේ නම් හෙ ම අරතිය මැඩගෙන සිටියි. අරතිය ඔහු නො මඩියි. දකුණුදිකුහිදු වෙසේ නම් හෙ ම අරතිය මඩනේ ය. අනභිරතිය ඔහු නො මඩියි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ධීර තෙමෙ අරතිය හා පඤ්චකාමගුණරතිය හා මැඩ සිටුනට පොහෝනේ ය.
68. අරතිය වීරයා මැඩ නො සිටුනේය. අරතිය වීරසංහතියෙක් නොවේ. වැලිත් ධීරයා අරතිය මඩියි, ධීරයා වනාහි අරතිය මැඩ පියහෙන්නෙකි.
69. සියලු තෛභූමකකර්ම හැරපියා සිටිනසුලු කෙලෙස් දුර ලූ රහත්හු (රාගාදීන් කෙරෙහි) කවරෙක් නම් වළහා ද. දඹරන් නිකක් සෙයින් ඔහුට ගරහන්නට හැකි වේ ද, දෙවියෝ ද පවා ඔහු පසසත්. බඹහු විසිනුත් පසස්නා ලදී.
4. 1. 3. 9.
[ධම්මපද සූත්රය]
29. මහණෙනි, මේ සතර ධර්මපද කෙනෙක් අග්රයහ යි දතයුත්තාහ. දිගුකල් පැවතියහ යි දතයුත්තාහ. ආර්ය්යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පෞරාණිකයහ. අසංකීර්ණයහ. (අතීත බුදුවරුන් විසිනුත් මෙයින් කිමැ යි) බැහැර නොකරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබෙති. අනායෙහිදු බැහැර නොකරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදහ. කවර සතර දෙනක යත්:
මහණෙනි, අනභිධ්යා ධර්මපදය අග්රය යි දත යුතුය. දිගුකල් පැවැත්තැ යි දත යුතුය. ආර්ය්යවංශය යි දතයුතුය. පෞරාණිකය. අසංකීර්ණය. (අතීත බුදුවරුන් විසිනුත් මෙයින් කිමැ යි) බැහැර නො කරණ ලදය. දැනුදු බැහැර නොකරණු ලැබේ. අනායෙහිදු බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
මහණෙනි, අව්යාපාද ධර්මපදය අග්රය යි දතයුතුය. දිගුකල් පැවැත්තැ යි දතයුතුය. ආර්ය්යවංශය යි දතයුතුය. පෞරාණිකය. අසංකීර්ණය. (පෙර බුදුවරුන් විසිනුදු මෙයින් කිමැ යි) බැහැර නොකරණ ලදී. දැනුදු බැහැර නොකරණු ලැබේ. අනායෙහිදු බැහැර නොකරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.