4. 1. 3. 5.
[බ්‍රහ්මචරිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, මේ බ්‍රම්සර වනාහි ජනයා විස්මයපත් කරණු පිණිස, දනා නලවනු පිණිස, ලාභසත්කාරකීර්ති පිණිස, වාදප්‍රමෝක්‍ෂය පිණිස, ජනයෝ මා මෙසේ හඳුනත්වා යන මේ පිණිස නො වැසෙයි. මහණෙනි, වැලිත් මේ බඹසර වනාහි සංවරය පිණිස, ක්ලේශප්‍රහාණය පිණිස, රාගාදීන්ගේ විරාගය පිණිස, රාගාදීන්ගේ නිරෝධය පිණිස වැසේ.
62. ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතිහරහිත (මෙහි මේ මෙසේවීල යන පරප්‍රත්‍යය නැති) නිවන් තුළට පමුණුවන සුලු, බඹසර ක්ලේශයන්ගේ සංවරය පිණිස, ප්‍රහාණය පිණිස වදාළහ.
63. පූජ්‍ය මහර්ෂීන් විසින් තෙල මග අනුගමනය කරණ ලදී. බුදුන් විසින් දෙසූ සැටියෙන් යම් කෙනෙක් එමග පිළිපදිත් ද ශාස්තෘශාසනකර වූ ඔහු දුක් කෙළවර කෙරෙත්.
4. 1. 3. 6.
[කුහක සූත්‍රය]
26. මහණෙනි, යම් ඒ භික්‍ෂු කෙනෙක් කුහක වූවාහු ක්‍රෝධය හා මානයෙන් දැඩි වූවාහු තමන් හුවා බණන්නාහු කෙලෙස්සිඟු ඇත්තාහු ඔසොවා ගත් මානනළ ඇත්තාහු එකඟසිත් නොලද්දාහු වෙත් ද, මහණෙනි, මාගේ ඒ භික්‍ෂූහු මාමක නො වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මෙසස්නෙන් බැහැර ද වූහ. ඔහු මෙසස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට නො ද පැමිණෙත්.
මහණෙනි, යම් ඒ භික‍්ෂු කෙනෙක් කුහක නොවූවාහු හුවා නොබණන්නාහු ධීර වූවාහු තද නොවූවාහු එකඟසිත් ඇත්තාහු වෙත් ද, මහණෙනි, මා උදෙසා පැවිදි වූ ඒ භික්‍ෂූහු මා අයත්හ. මහණෙනි, ඔහු මෙසස්නෙන් බැහැර ද නො වූහ. වැලිත් ඔහු මෙසස්නෙහි (ගුණයෙන්) වැඩීමට (නිශ්චලභාවයෙන්) විරූඪියට (පතළ බැවින්) විපුලබවට පැමිණෙත්.
64. කුහක වූවාහු මනින් දැඩි වූවාහු හුවා බණන්නාහු කෙලෙස්සිඟු ඇත්තාහු ඔසොවාලු කෙලෙස්නළ ඇත්තාහු එකඟසිත් නැත්තාහු වෙත් ද, ඔහු සම්මා සම්බුදුන් විසින් දෙසන ලද දහම්හි නො වැඩෙත්.
65. කුහක නො වූවාහු හුවා නොබණන්නාහු ධීර වූවාහු මෙනෙන් නොදැඩි වූවාහු මෙනෙන් නොදැඩි වූවාහු මොනොවට එකඟසිතැත්තාහු වෙත් ද, ඔහු සම්මා සම්බුදුන් විසින් දෙසන ලද දහම්හි ඒකාන්තයෙන් වැඩෙත්.
4. 1. 3. 7.
[සන්තුට්ඨි සූත්‍රය]
27. මහණෙනි, මේ කරුණුහු සතර දෙනෙක් අල්ප ද සුලභ ද වෙත්. ඔහු නිරවද්‍ය ද වෙත්. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, පහුල සිවුරු අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. එ ද අනවද්‍යයි. මහණෙනි, පිඬු සිඟා ලත් ආලෝපය බොජුන් අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. එ ද අනවද්‍යයි. මහණෙනි, රුක්මුල සෙනසුන් අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. ද අනවද්‍යයි. මහණෙනි, පූතිමූත්‍රය භෛෂජ්‍යයන් අතුරෙන් අල්ප ද සුලභ ද වේ. එ ද අනවද්‍යයි.
මහණෙනි, මේ කරුණුහු සතර දෙන අල්ප ද සුලභ ද වෙත්. ඔහු ද අනවද්‍යයහ.
මහණෙනි, යම් හෙයකින් මහණ අල්ප වූත් සුලභ වූත් චීවරාදීන් සතුටු වේ ද, මේ ඔහුගේ අන්‍යතර ශ්‍රාමණ්‍ය-අඞ්ගයෙකැ (ශ්‍රමණ ගුණයෙකැ යි) මම කියමි.
66-67 අල්ප වූත් සුලභ වූත් අනවද්‍ය වූත් චීවරාදීන් සතුටු මහණහුගේ සිතට සෙනසුන් අරභයා වේවයි චීවර අරභයා වේවයි පැනබොජුන් අරභයා වේවයි වෙහෙසෙක් නො වේ. දික් නො හැනේ. ශ්‍රමණධර්‍මයට අනුලොම් වූ යම් පිළිවෙත් දහම්හු ඔහුට දෙසන ලදහු ද, ඒ ධර්‍මයෝ සතුටු වූ අප්‍රමත්ත වූ ඒ මහණහු විසින් අධිගෘහිතයහ.