4. 1. 3. 6.
[කුහක සූත්රය]
26. මහණෙනි, යම් ඒ භික්ෂු කෙනෙක් කුහක වූවාහු ක්රෝධය හා මානයෙන් දැඩි වූවාහු තමන් හුවා බණන්නාහු කෙලෙස්සිඟු ඇත්තාහු ඔසොවා ගත් මානනළ ඇත්තාහු එකඟසිත් නොලද්දාහු වෙත් ද, මහණෙනි, මාගේ ඒ භික්ෂූහු මාමක නො වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු මෙසස්නෙන් බැහැර ද වූහ. ඔහු මෙසස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට නො ද පැමිණෙත්.
මහණෙනි, යම් ඒ භික්ෂු කෙනෙක් කුහක නොවූවාහු හුවා නොබණන්නාහු ධීර වූවාහු තද නොවූවාහු එකඟසිත් ඇත්තාහු වෙත් ද, මහණෙනි, මා උදෙසා පැවිදි වූ ඒ භික්ෂූහු මා අයත්හ. මහණෙනි, ඔහු මෙසස්නෙන් බැහැර ද නො වූහ. වැලිත් ඔහු මෙසස්නෙහි (ගුණයෙන්) වැඩීමට (නිශ්චලභාවයෙන්) විරූඪියට (පතළ බැවින්) විපුලබවට පැමිණෙත්.
64. කුහක වූවාහු මනින් දැඩි වූවාහු හුවා බණන්නාහු කෙලෙස්සිඟු ඇත්තාහු ඔසොවාලු කෙලෙස්නළ ඇත්තාහු එකඟසිත් නැත්තාහු වෙත් ද, ඔහු සම්මා සම්බුදුන් විසින් දෙසන ලද දහම්හි නො වැඩෙත්.
65. කුහක නො වූවාහු හුවා නොබණන්නාහු ධීර වූවාහු මෙනෙන් නොදැඩි වූවාහු මෙනෙන් නොදැඩි වූවාහු මොනොවට එකඟසිතැත්තාහු වෙත් ද, ඔහු සම්මා සම්බුදුන් විසින් දෙසන ලද දහම්හි ඒකාන්තයෙන් වැඩෙත්.
4. 1. 3. 7.
[සන්තුට්ඨි සූත්රය]
27. මහණෙනි, මේ කරුණුහු සතර දෙනෙක් අල්ප ද සුලභ ද වෙත්. ඔහු නිරවද්ය ද වෙත්. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, පහුල සිවුරු අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. එ ද අනවද්යයි. මහණෙනි, පිඬු සිඟා ලත් ආලෝපය බොජුන් අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. එ ද අනවද්යයි. මහණෙනි, රුක්මුල සෙනසුන් අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. ද අනවද්යයි. මහණෙනි, පූතිමූත්රය භෛෂජ්යයන් අතුරෙන් අල්ප ද සුලභ ද වේ. එ ද අනවද්යයි.
මහණෙනි, මේ කරුණුහු සතර දෙන අල්ප ද සුලභ ද වෙත්. ඔහු ද අනවද්යයහ.
මහණෙනි, යම් හෙයකින් මහණ අල්ප වූත් සුලභ වූත් චීවරාදීන් සතුටු වේ ද, මේ ඔහුගේ අන්යතර ශ්රාමණ්ය-අඞ්ගයෙකැ (ශ්රමණ ගුණයෙකැ යි) මම කියමි.
66-67 අල්ප වූත් සුලභ වූත් අනවද්ය වූත් චීවරාදීන් සතුටු මහණහුගේ සිතට සෙනසුන් අරභයා වේවයි චීවර අරභයා වේවයි පැනබොජුන් අරභයා වේවයි වෙහෙසෙක් නො වේ. දික් නො හැනේ. ශ්රමණධර්මයට අනුලොම් වූ යම් පිළිවෙත් දහම්හු ඔහුට දෙසන ලදහු ද, ඒ ධර්මයෝ සතුටු වූ අප්රමත්ත වූ ඒ මහණහු විසින් අධිගෘහිතයහ.
4. 1. 3. 8.
[අරියවංස සූත්රය]
28. මහණෙනි, මේ සතර ආර්ය්යවංශධර්ම කෙනෙක් අග්රයහ යි දතයුත්තාහ. දිගුකල් පැවතියහ යි දතයුත්තාහ. ආර්ය්යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පුරාණයහ යි දතයුත්තාහ. අවිකීර්ණයහ යි දතයුත්තාහ. (අතීත බුදුවරුන් විසිනුත් මෙයින් කිමැ යි) බැහැර නො කරණ ලද්දාහ. (දැනුදු) බැහැර නො කරණු ලැබෙත්. (අනායෙහි බුදුවරුන් විසිනුත්) බැහැර නො කරණු ලබන්නාහු වෙත්. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් අනින්දිතයහ. කවර ධර්ම සතර කෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ඉතරෙතරචීවරයෙන් සතුටු වෙයි. ඉතරෙතරචීවරසන්තෝෂයෙහි ද ගුණ බණන සුලු වෙයි. චීවරහේතුයෙන් අයුතු අනෙෂණයට නො පැමිණෙයි. සිවුරු ද නොලැබ නො තැතිගණී. සිවුරු ලැබ ද පහ වූ ලොබගැට ඇතියේ (අධිමාත්රතෘෂ්ණායෙන්) හටගත් තෘෂ්ණා නැත්තේ තෘෂ්ණායෙන් නොවළඳනා ලද්දේ දොස් දක්නා සුලු වූයේ නිඃසරණ ප්රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ ඉතරෙතරචීවරසන්තෝෂයෙනුත් තමා හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දකී. හෙ ද වනාහි ඒ චීවරසන්තොෂයෙහි දක්ෂ වූයේ අනලස් වූයේ මනා නුවණින් දන්නේ එළඹ සිටි සිහි ඇත්තේ වේ. මහණෙනි, මේ මහණ පැරණි වූ අග්ර ය යි දන්නා ලද ආර්ය වංශයෙහි (ආර්ය්ය ධර්මයෙහි) සිටියේ යි කියනු ලැබේ.
තවද මහණෙනි, මහණ ඉතරෙතරපිණ්ඩපාතයෙන් සතුටු වෙයි. ඉතරෙතරපිණ්ඩපාතසන්තුෂ්ටියෙහි ගුණ කියන්නේ ද වෙයි. පිණ්ඩපාතහේතුයෙන් අයුතු අනෙෂණයට නො පැමිණේ. පිඬුවා නො ලැබ ද ත්රස්ත නො වේ. පිඬුවා ලැබත් ලොබගැට නැතියේ අධිමාත්ර තෘෂ්ණායෙන් මුසපත් නො වූයේ තෘෂ්ණායෙන් නොවළඳනා ලදුයේ ආදීනව දක්නා සුලු වූයේ නිඃසරණ ප්රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ ඉතරෙතරපිණ්ඩපාතසන්තුෂ්ටියෙනුත් තමා නගා නො තබයි. මෙරමා හෙළා නො දකියි. හෙ ද ඒ පිණ්ඩපාතසන්තෝෂයෙහි දක්ෂ වූයේ (සාතත්යාභ්යාස විසින්) අනලස් වූයේ නුවණින් දන්නේ එළඹ සිටි සිහි ඇත්තේ වෙයි. මහණෙනි, මේ මහණ පොරාණ වූ අග්රඥ වූ ආර්ය්යවංශයෙහි සිටියේ යි කියනු ලැබේ.
තවද මහණෙනි, මහණ ඉතරෙතර ශයනාසනයෙන් සතුටු වෙයි. ඉතරෙතරශයනාසනසන්තුෂ්ටියෙහිදු ගුණ කියන සුලු වෙයි. ශයනාසනහේතුයෙන් අයුතු අනෙෂණයට ද නො පැමිණෙයි. සෙනසුන් නො ලැබත්. ත්රස්ත නො වෙයි. ශයනාසන ලැබත් ලොබගැටින් නොගැටුනේ අධිමාත්රතෘෂ්ණායෙන් මුසපත් නොවූයේ තෘෂ්ණාව විසින් නොවළඳනා ලදුයේ දොස් දක්නා සුලු වූයේ නිඃසරණ ප්රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ ඉතරෙතර ශයනාසනසන්තුෂ්ටියෙනුදු තමා නගා නො තබයි. මෙරමා නො ගරහයි. හෙ ද ඒ ශයනාසනසන්තෝෂයෙහි දක්ෂ වූයේ අනලස් වූයේ නුවණින් දන්නේ පැමිණ සිටි සිහි ඇත්තේ වෙයි. මහණෙනි, මේ මහණ පොරාණ වූ අග්රඥ වූ ආර්ය්ය වංසයෙහි සිටියේ යි කියනු ලැබේ.
තවද මහණෙනි, මහණ භාවනාභිරති ඇතියේ බවුන්හි ඇලුනේ වෙයි. ප්රහාණාභිරති ඇතියේ ප්රහාණියෙහි ඇලුනේ වෙයි. වැලිත් ඒ භාවනාරාමතායෙන් වේවයි, භාවනාරතියෙන් වේවයි, ප්රහාණාරාමතායෙන් වේවයි, ප්රහාණරතියෙන් වේවයි තමා හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දකී. හෙ ද වනාහි ඒ භාවනාරතියෙහි ප්රහාණරතියෙහි දක්ෂ වූයේ අනලස් වූයේ නුවණින් දන්නේ එළඹ සිටි සිහි ඇතියේ වෙයි. මහණෙනි, මේ මහණ පුරාණ වූ අග්රඥ වූ ආර්ය්යවංශධර්මයෙහි සිටියේ යි කියනු ලැබේ.